අධිකරණයට ගොස් නඩු අසමින් පමාවන්නේ කුමට? යුක්තිය ඉෂ්ට කිරීමට අපට හැටි‍කොට!

Posted on August 3, 2009



අම්පාර පැත්තේ ගමක දැරිවියක් දූෂණය කොට මරා දැමු මිනීමරුවා අල්ලා ඌට සංග්‍රහ ‍කොට මරණීය දණ්ඩනය පැනවීමට ගම්වාසීන් ඉදිරිපත් වුනු බව පසුගිය දිනවල සැලවි ය. මෙම සිද්ධිය ගැන කරන ලද දීර්ඝ පරීක්ෂණයකින් පසු අපට පෙනී ගියේ

  1. ශ්‍රී ලාංකික ජනතාව මෙවැනි නරුමයින් නොරුස්සන බව ය.
  2. නීතිය ක්‍රියාත්මක නොවන වාතාවරණයක් යටතේ කළ හැකි හොදම දෙය එය බව ජනතාව කල්පනා කරන්නට ඇති බව ය.
  3. නඩු ඇසීමට අධිකරණ අවශ්‍ය වන්නේ සුද්දන්ට මිසක අපට නොවන බව ය.
  4. කවුරු හෝ මරන්නට සමාජ අනුමැතිය ඇත්නම් ඒ වැඩේ සදහා ඉදිරිපත්වීමට පුල පුලා බලා සිටින ජනතාවක් අපට සිටින බව ය.
  5. පොලීසියේ මහත්තුරුන්ට නඩු නොඅසා දඩුවම් දෙන්නට හොද නම් සාමාන්‍ය මිනිසාට ඒ අයිතිය නොතිබිය යුත්තේ ඇයි දැයි ජනතාව සිතන බව ය.
  6. දූෂණ නැති කිරීමේ නොවරදින මග අවසානයේ ජනතාව සොයා ගෙන ඇති බව ය.
  7. ඉපැරණි ගෝත්‍රික චාරිත්‍ර අනුගමනය කිරිමෙන් අපට දියුණුව කරා ඉක්මණින් යා හැකි බව ය.
  8. ප්‍රතිඵල ඇත්නම් ක්‍රමය කුමක් ද යන්න එතරම් අදාළ නොවන බව ය.
  9. ‍අධිකරණය විසුරුවා හැර නඩු ඇසීමේ බලතල ජනතාවට ලබා දිය යුතු බව ය.
  10. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියා ජනප්‍රිය කියමනක් තිබෙන්නේ අප අනාදිමත් කාලයක සිට මෙවැනි ක්‍රියාපටිපාටියක් පවත්වා ගෙන ගිය නිසා බව ය.
  11. කරන ලද විනාශයට කවුරුන් හෝ පමා නොවී දඩුවම් ලැබිය යුතු බව ය.
  12. මේ අපරාධය කරද්දී එය බලා සිටි කවුරු හරි ඒ ගැන හෙළිකරන්නට ඇති නිසා සැකයෙන් තොර සාක්කියක් තිබු බැවින් තීන්දුව ගැනීම පහසු වූ බව ය.
  13. ඇත්තටම අපරාධය කළ තැනැත්තා අහුවෙතැයි බියෙන් වෙන කෙනෙකු පිටට මෙය තල්ලුකර දැමීමට කවුරුන් හෝ ඉක්මන් වූ බව ය.
  14. මේ නිහීන වැඩය කර ඇත්තේ අහවලා යයි කිරිගහට ඇන්නැහේ සාස්තර කාරයෙක් විසින් කියන්නට ඇති බැවින් එහි සැකයක් තව දුරටත් නොතිබු බව ය.
  15. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ අපේම වූ ක්‍රමයක් අවසානයේ අප විසින් සොයා ගෙන ඇති බව ය.
  16. උඩතලවින්නේ දස පුද්ගල මිනීමැරුම සම්බන්ධයෙන් ද ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනාගේ මරණය සම්බන්ධයෙන් ද සැක පිට අත්අඩංගුවට ගත් අය නිදහස් කිරීමට මෑතකදී අධිකරණයට සිදුවූ නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට වැරදි කරුවන්ට දඩුවම් දීමට ඇති හැකියාව පිළිබද ඇතිවූ සැකය නිසා මෙය කරන්නට ඇති බව ය.
  17. බොහෝ නඩුවල  චුදිතයන් වෙනුවෙන් පෙනී සිටීම නීතිඥයින්ට ඉඩක් නැත. එවැනි ඉඩක් නැතැයි ප‍්‍රකාශ කළ අය අතර අප රටේ අගමැති තුමා ද කෙනෙකි (එතුමා මෙම කතාව කියා තිබුනේ පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියක ආරක්ෂක ලේකම්ට අපහාස කළැයි කියන චුදිතයින් දේශදෙ‍්‍රා්හීන් හැටියට නම් කර තිබූ බවට විපක්ෂය ප‍්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ ය) . එයින් කියවෙන්නේ චුදිතයින් නඩුඇසීමෙන් තොරව වැරදි කරුවන් කිරීමට හැකි දියුණු සමාජයක් අපට තිබෙන බව අගමැති තුමා පවා පිළිගන්නා බව ය. එවන් වාතාවරණයක  යුක්තිය පසිදලීම කල් දැමීම තේරුමක් නැති බව ය.
  18. ලෝකයට ත්‍රස්තවාදය අවසන් කිරීමේ අලුත් ක්‍රමය ඉදිරිපත් කළ අප වරද කරුවන්ට දඩුවම් කිරීම සම්බන්ධයෙන් ද නව සොයා ගැනීමක් පැරණි ලෝකය පීරා සොයා ගෙන හඳුන්වාදීමට සූදානමෙන් පසුවන බව ය.
Posted in: Uncategorized