කාපු බීපු වෙලාවට කියන දේවල් වැඩිය ගණන් ගත යුතු නැතැයි මීයා පූසාට කීවේ ය

Posted on July 25, 2009



ස්වීඩන් තානාපති කාර්යාලය ජුලි 31 දා වනවිට වසා දැමීමට තීරණය කර ඇත. ලෝකය පුරාම මෙසේ තමන්ගේ තානාපති කාර්යාල සංඛ්‍යාව අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් යටතේ මෙය කෙරෙන බව ප්‍රකාශයට පත්ව ඇතත් ඒ සදහා වැහීමට තැන් තෝරා ගැනීමේදී තමන්ගේ විදේශ ඇමතිට වීසා දීමට අකමැති වූ රටක තනාපති කාර්යාලයක් පවත්වා ගෙන යාමට මුදල් වැය කිරීම තේරුමක් නැතැයි කියා ද ඔවුන් කල්පනා කරන්නට ඇතිවාට සැක නැත.

මේ ගැන බ්ලොග් සටහනක් ලියන අපේ සගයෙක් ලියා ඇත්තේ ගිය එකමයි කාරිය. නොර්වේත් යනවා නම් තවත් හොද යයි කියා ය. බැලු බැල්මට කොතරම් ආඩම්බර කතාවක් ද?

(තවත් පියවරක් ඉදිරියට තබා ඇමරිකාවටත් බ්‍රිතාන්‍යටත් ප්‍රංශයටත් ඒ පණිවුඩයම දිය හැකි ය).

නරියාටත් කඩා ගන්නට බැරිවූ තැන ඇඹුල්වූ මිදි කතාව ඒ සමගම මතක් වුනේ නිතැතිණි.

ස්වීඩනය අපේ රටේ කටයුතුවලට මැදිහත් වූ බව සත්‍යයකි. ඒ මැදිහත්වීම්වලට ආධාර ද ඇතුළත් විය. එයින් වඩාත් කැපී පෙනෙන ආධාරය වූයේ කොත්මලේ ජලාශය හා විදුලි බලාගාරය ඉදිකිරීම යි. ඊට අමතරව උසස් අධ්‍යාපන අවස්ථාවන් රැසක් ද මේ ආධාර අතර විය. එහෙත් ලංකා‍වේ සිදු වූ සමහර දෑ පිළිබද තමන්ගේ නොසතුට පළකරන්නට ද එය මැලි නොවී ය.

ඒක හරියට නැන්දම්මාගේ මැදිහත්වීම වගේ ය. උදව් පදව් සමග එන අවවාද අනුශාසනා ද බාර ගත යුතු විය.

කාගේවත් උදව් නැතිව වැඩ කරගෙන යන්නට හත්තිය ඇත්නම් එය යහපත්ය. නැන්දම්මා පවා අයින් කර තැබීම පුලුවන් නම් හොදය.

එහෙත් එහි ප්‍රායෝගිකත්වය ද අප විසින් සැළකිල්ලට ගත යුතු ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නැතිව වැඩ කරගෙන යා හැකි නම් එය ද අපූරු එකකි. එහෙත් කොච්චර පාරම්බෑවත් එය කොර ගන්නට අපට නොහැකි විය.

එහෙව් රටක මිනිසුන් ස්වීඩනය අකුලාගෙන යන විට අත්පුඩි ගහන්නේ රෙදිත් ඇදගෙන ‍දැයි ඇසිය යුතු ය.

මිදි ඇඹුල් බව ඇත්ත ය. එහෙත් ඒ ඇඹුලත් රසයක් යැයි කියන්නට මේ අය හෙට ඉදිරිපත් වුවහොත් අප පුදුම විය යුතු නැත.

ආණ්ඩුවට කහින දේශප්‍රේමී බ්ලොග්කරුවන් මිසක ආණ්ඩුව තවම මේ ගැන කෙළ හලා නැත. හෙට අනිද්දා වනවිට අගමැති තුමා එකකුත් විදේශ ඇමති තව එකකුත් ජානිපෙ හා හෙළ උරුමය තවත් එකකුත් මේ ගැන කියනවා ඇත.

අවසානයේ කවුරුන් හෝ මැදිහත් වී කියනු ඇත්තේ ඒවා සියල්ල කාපු බීපු වෙලාවට කියන කතා නිසා ගණන් ගත යුතු නැති බව ය. මීයාත් පූසාට අතීතයේ එසේ කියා තිබුන බව අප අසා ඇත.

Posted in: Uncategorized