මේ මරණ සිදුවන විදිහට පොලිසිය වුනත් ඔරොත්තු දේවියැ

Posted on July 23, 2009



ඉවරයක් නැතිව සිදුවන මැරකම් හා ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඇගිල්ල දිගුවන්නේ පොලීසියට ය. එල්ටීටී විරෝධී යුද්ධයේ විශාල කාර්යය භාරයක් සිදුකළ රණවිරු කණ්ඩායමකට ය.

ගාල්ලේ නගර සභාවේ විරුද්ධපක්ෂ නායකයා ඝාතනය සම්බන්ධයෙන් ද බොහෝ අය බලා සිටින්නේ මැරයන් අල්ලා ගන්නට නොහැකිව පොලීසියට වරදින තෙක් ය.

මේ එක් යුගයක මිනීමැරුමක් සිදු වූ කළ කවි කොල ගහන්නට පුරුදුව සිටි රටකි. දැන් කවි කොළ ගහන්න ‍ගත්තොත් මුද්‍රණාලවලට වෙන වැඩක් කරන්නට ලැබෙන්නේ නැත. එහෙව් යුගයක පොලීසියෙන් පමණක් විශ්මය ජනක දේ බලාපොරොත්තු වීම අසාධාරණ ය.

පොලීසියට එක් මෙහෙයුමක් ඉවර කරන්නට ලැබෙන්නේ නැත. එවැන්නක් පටන් ගත් විගස අලුත් මෙහෙයුමක් ලැබේ.

ඉහළින් ලැබෙන ඕඩර්වලට අමතරව හරහින් ද ඕඩර් ඔවුන්ට ලැබේ.

මතට තිත තියන්නත් ඕනෑ ඔවුන් ය. දේශපාලකයාගේ හිතවතාගේ කසිප්පු වාඩිය දැක දැකත් අහක බලන්න ඕනෑත් ඔවුන් ය.

දේශපාලකයින් වැයික්කියට එනවිට ආරක්ෂාව සපයන්නට ඕනෑත් ඔවුන් ය. මග දෙපස ඉඩ හසර වෙන්කර දෙන්නට ඕනෑත් ඔවුන් ය. දේශපාලකයින්ගේ වුවමනා එපාකම් බලන්නට ඕනෑත් ඔවුන් ය. දේශපාලකයින් වෙනුවෙන් අහිංසක මිනිසුන් කුදලාගෙන හිරකරන්නත් ඕනෑ ඔවුන් ය.

පොලීසියට ඕනැවට වඩා ස්මාට් වෙන්නට බැරි ය. එවිට දරුපවුල ගෙදර දමා රටේ එහා කොණට යන්නට සිදුවේ. අප වගේම එහි ඉන්නේත් දරු පවුල් සහිත මිනිසුන් ය.

එහෙම තත්වයක් යටතේ මේ කරන හරිය ඕනෑවටත් වඩා වැඩි ය.

දුක්ගැනවිල්ලක් තියෙනවා නම් දෙවියන්ට කියා පොලීසිය නිදහස් කළ යුතු ය. මෛත්‍රීපාල සි‍රිසේන කිව්වාක් මෙන් ඔය මිනීමරුවන්ට දෙවියන් දඩුවම් දෙනු ඇත. එතෙක් පොලීසිය නිදොස් කොට නිදහස් කරනු මැනවි.

දෙවියෝම අප රකිත්වා!

Posted in: Uncategorized