රණවිරුවන්ට සෙත් පතා නැවත පන්සල් යමු

Posted on July 22, 2009



හිටපු යුද හමුදාපති වරයාගේ හෝ නාවික හමුදාපති වරයාගේ මාරු සහ පත්වීම් දේශප්‍රේමීන්ගේ ප්‍රශ්නයක් මිස අපේ ප්‍රශ්නයක් නොවේ. එසේ තිබියදීත් අපි කරන්නාගොඩ මහතාගේ විශ්‍රාම යැවීම ගැනත් එතුමාට ලබා දුන් පත්වීම් ගැනත් ලීවෙමු. ඒ මේ රටේ වැඩ කරන විදිහ ගැන අදහසක් යුද උන්මාදයෙන් මත්ව සිටිය ජනතාවට දැනගන්නට සළස්වන්න ය.

ඇත්තටම යුද ජයග්‍රහණයට වගකිව යුතු හමුදා ප්‍රධානීන් විශ්‍රාම යවා හමුදා ප්‍රධානීන්ට මුකවාඩම් බදින විට (මින් මත්තට පුවත්පත්වලට හමුදා ප්‍රධානීන්ගේ අදහස් පළ කළ හැක්කේ ආරක්ෂක ලේකම්ගේ ලිඛිත අවසරයකින් පසු බව පසුගියදා සියලු පුවත්පත්වලට දන්වා තිබිණි) දේශප්‍රේමීන්ට මිසක අපට ප්‍රශ්නයක් තිබිය නොහැකි ය.

බොහෝ අය මේ ලස්සන පින්තූරයේ ඉරි ඇදෙනවාට කැමති නැත. එහෙත් ඇදෙමින් තිබෙන්නේ ඉරි නොව බලි කුරුටු ය.

අපට පෙන්වන්නට ඕනෑ වුනේ උඩින් ලස්සනට තිබුන ද ඇතුළතින් බොහෝ දේ අවලස්සණ බව ය. ශක්තිමත් යයි අප දකින රාජ්‍ය යන්ත්‍රණය ඇතුළතින් ඉරි තලමින් තිබෙන බව ය. මේ අප ජීවත්වන්නේ ලෑන්ඩ්ලයික් නෝ අදර් වන ශ්‍රී ලංකාවේ බව ය.

හිටපු නාවික හමුදාපති වම් අතින් පත්වීම බාර ගැනීමත් ඊළග දිනයේම ලේකම් තනතුරක් වැනි වගකිව යුතු තනතුරක් පිරිනමා වැරදි නිවැරදි කර ගැනීමත් ඒ කටයුත්තේ ලා බලවතුන්ගේ ‍නොව බවලතුන්ගේ මැදිහත්වීම ලැබුන ආකාරයත් අප සටහන් කළේ ඒ සදහා ය.

රණවිරුවන් වෙනුවෙන් කටයුතු කළ අයට අමතර රාජකාරියක් දැන් පැවරී තිබේ. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා නැවතත් පන්සල් ගානේ ගොස් සෙත්සාන්ති කිරීම ය.

මිල අඩු කළ පිටිකිරි යොදා පිළියෙල කරන ලද කිරිබත් අනුභව කොට මිගාර මහත්තයාව ඉස්සර කරගෙන දකුණු පය පෙරට තබා කටයුත්තට අවතීර්ණවීම යෙහෙකි ය.

Posted in: Uncategorized