ටීෂා ගැහැණියකි. ඒ නිසා ඇය මේ බිමේ උරුමක්කාරයෙක් නොවේ. උරුමක්කා‍රයෝ උරුමය ඉල්ලා ඇය හඹා යති!

Posted on July 18, 2009



ටීෂා ගැහැණියකි. ලස්සනට සිංදු කියන්නට පුළුවන් ගැහැණියකි. දෙමළ ගැහැණියක් නොව සිංහල ගැහැණියකි.

මේ රටේ උරුමය ඇත්තේ සිංහල බෞද්ධ ගොවිගම බලය ඇති වැඩිහිටි පිරිමින් ටය. ඒ නිසාම දෙමළුන්ට මෙන්ම ගැහැණුන්ට ද මෙහි ඇත්තේ දෙවැනි පන්තියේ පුරවැසි කමෙකි. එය සිංහල ගැහැණුන්ට ද පොදු ය.

ඉදින් තමන් සමග නිදාගැනීම ප්‍රතික්ෂේප කළ දේශ‍පාලනඥයින් දෙදෙනෙකුගේම මැරයන් විසින් දැන් ඇය ලුහු බදිනු ලැබේ. ඇය යන වාහනය හරස් කළ මැරයින් දෙදෙනෙක් වරක් ඇයගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර ඇති අතර තවත් අවස්ථාවක ඇයගේ ගෙදරට පැමිණි ආයුධ සන්නද්ධ මැර පිරිසක් විසින් නැවත වතාවක් බිය ගන්වා තිබේ. මේ පුබ්බරයින්ගෙන් ගැලවීමට ඇය කීප වතාවක් විදේශගතව ඇතත් නැවත පැමිණ හැම වාරයකම ඔවුන්ගේ කරදරවලට හසුව ඇත.

අනර්කලී නම් බලය ඇති තැනකම පිහිටපතා ඒ බලය පිටුපස සැගව දිවිගලවා ගත්තා ය. ඒ සදහා ඇයට කොපමණ මිලක් ගෙවන්නට සිදුවුනා‍ දැයි අපි නොදනිමු.

සමහරු කියන්නේ පොලීසියේ වරදින් මේ තත්වය ඇතිව ඇති බව ය.

පොලීසිය යනු මේ සමාජයේම මේ දේශපාලනයේම නිර්මාණයකි. හැමදෙයක්ම වැරදුන තැන පොලිසියෙන් විතරක් හරි දෙයක් බලාපොරොත්තු වීම වැරදි ය. පොලීසිය යනු මේ රටේ උරුමක්කාරයින් රැකීමට ඉන්නා ආයතනයකි. එය බලය ඇති අය අතේ නැ‍ටවෙන රූකඩයෙකි.

ඒ බලයට අභියෝග නොකර ඒ හා බැදුනු පොලිසියට පමණක් අභියෝග කළ හැක්කේ බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිදහස් කොට බන්දුල ගුණවර්ධන ඇමති කූඩුවට නංවන කාටූන් කාරයින් වැනි විහිළු සපයන්නන්ට ය.

අපේ රටේ විහිළු සපයන්නන්ගේ නම් අඩුවක් නැත.

Posted in: Uncategorized