මේ අත වනන්නේ තවත් කැරැල්ලකට ද?

Posted on July 15, 2009



“දැනට මාස තුනකට පමණ උඩදී සිට මගේ දරුවන් තමන්ට පාසලින් එල්ල වෙන හිරිහැර හා අවමානයන් ගැන පැමිණිලි කරන්නට පටන් ගත්ත”  ඒ ප්‍රකාශය පස් දරු මෑණියකගේ ය.

එපමණක් නොව පාසලෙන් ඔවුන් අස්කරගන්නා ලෙස ද බලධාරීන් ඇයට කියන ලද්දේ ය.

පන්තියේ ළමුන් 42 ක් සිටිය ද තමන්ගේ පුතුට පමණක් දිනපතා දිවා ආහාරය සදහා බැල මෙහෙවර කම් කිරීමට සළස්වා තිබූ බව ද ඇය කීවා ය.

තමන්ගේ දරුවන්ට සිදුවන හිරිහැර ගැන විදුහල්පතිට පැමිණිලි කළ ද ඉන් පලක් නොවූ කල පාසලින් අස්වීම සදහා ඇය අස්වීමේ සහතිකයක් ඉල්ලා සිටියා ය.

කතාවේ ඊලග කොටස දිග හැරෙන්නේ ඉන් අනතුරුව ය. ජූනි 26 දා අඹේපුස්ස විද්‍යාලයට යන ඇය ඇගේ දරුවා පාසලට ඇතුළු කර ගන්නා ලෙස ඉල්ලා සිටි විට ලැබෙන පිළිතුර හකුළුවා දක්වන්නේ පශ්චාත් එල්ටීටී යුගයේ දෙමළ ජනතාවගේ ඛේදවාචකයයි.

“ප්‍රභාකරන් ජීවත්වෙල හිටිය නම් ඒකට බයේ උඹගෙ ළමයාව දාන්න අපට සිද්ධවෙන්න තිබුන. දැන් ප්‍රභාකරන් මැරිල නිසා එහෙම එකක් නෑ. උඹගෙ ළමයව පාසලට දාන්න අපට දැන් බැදීමක් ඇත්තේම නැහැ”.

මේ කතාව පළවී තිබුනේ සති අන්ත ටයිම්ස් පත්තරේ ය (මෙවැනි ප‍්‍රවෘත්ති සිංහල පුවත්පතක පළවන්නේ කලාතුරකිනි. ඉංග‍්‍රීසි පුවත්පත්වලට මෙවැනි හිරිහැරයන්ට මුහුණ දෙන අයට ලංවිය හැක්කේ ඊටත් කලාතුරකිනි).

මෙය රටේ පොදු කතාව නොවන බව කියමින් අඹේපුස්ස විදුහලේ විදුහල් පතිවරයාගේ පෞද්ගලික ගිණුමට බැර කර අත පිහදාගන්නට දේශප්‍රේමීන්ට පුළුවන. තවත් එහාට ගිහින් ප්‍රභාකරන්ට හා BFගේ අම්මා මුත්තාට බැණ වදින්නට ද පුළුවන.

ඒ වුනත් මේ අත වනන්නේ තවත් කැරැල්ලකට බව නම් නොකියා බැරි ය.

Posted in: Uncategorized