දරුවන් වැදීම තව තවත් දරුවන් වැදීමෙන් පරාජය කරන්නට බැරි ය

Posted on June 24, 2009



සිංහල ජනගහණය වැඩි දියුණු කිරීමට කළ යෝජනාවේ විකාර සහගත භාවය ගැන අප ලියූ බ්ලොග් සටහනට අපට ලැබුණු එක් ප‍්‍රතිචාරයකින් කියවුනේ ඔය බණ සිංහලයන්ට කියන්නට කලින් වතුකරයේ දෙමළුන්ට ත් මුස්ලිමුන්ටත් කියන ලෙස ය.

අප මේ පිළිබඳව කලින් ලියූ සටහනක සියයක් නිසරු පුතුන් ලබනවා ට වඩා ගුණ නැණ බෙලෙන් එක පුතකු ලැබීම වැදගත් බව සඳහන් කළෙමු. එවැනි බණක් අප කැමති කලින් අපේ අයට කියන්නට ය. අප ආදර්ශයක් නොවී අනුන්ට කීමේ තේරුමක් නැති නිසා ය.

ඒ නිසාම අප බණ කියන්නේ මුලින් අපටම ය. ඊළගට අපේ ළගම හිතවතුන්ට ය. ඊළගට අපේ අසල්වැසියන්ට ය. ඊළගට අපේ ජාතියට ය. ඊළග රටට ය. ලෝකයට බණ කියන්නේ අන්තිමට ය.

එය බුදුන්ගේ ක‍්‍රමයයි. මෛත‍්‍රිය පළමුව තමාට ය. ඊට සමානව මුලින්  නිවැරදි විය යුත්තේත් තමා ය. දෙවනුව ළග ඉන්නා අය ය. එය ඈතට විහිදෙන්නේ ක‍්‍රමයෙනි.

අප වදන්නට උනන්දු වූ විට අනිත් අයට ද තරගයට වදන්නට පුලූවන. එයින් අවාසිය සැළසෙන්නේ අප හැමට ය.

බොහෝ දේ බෝවෙයි. අප නපුරුකම් කරන විට අන් අය ද නපුරුකම් කරති.

වරක් මිනිහෙක් රණ්ඩුවනු පිණිස ගලක් ගෙන මේ ගල මගේ යයි කීවෙලූ අනෙකා කීවේ උඹේ නම් උඹ ගනින් කියා ය.

ජේසුස් වහන්සේ කීවේ කම්මුලට ගැසූ තැනැත්තාට අනිත් කම්මුල පාන ලෙස ය.

බුදුන් කීවේ වෛරය වෛරයෙන් නොසංසිඳෙන බව ය.

වැදීම වැදීමෙන් පරාජය කරන්නට බැරි ය.

ජාතික හෙල උදාව නොදන්නා අපේ රටේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නට උත්සහ නොකරන කාරණය එයයි.

අයහපත ජය ගත හැක්කේ යහපතෙනි. මෝඩකම ජය ගත හැක්කේ නුවණක්කාර වීමෙනි. වෛරය ජය ගත හැක්කේ මෛත‍්‍රියෙනි.

බොහෝ සිංහල බෞද්ධයන් නොදන්නා ඒ කරුණ අප ජිවන මාර්ගය කර ගෙන ඇත්තෙමු.

ඒ නිසා අප අනෙකුත් ජාතීන්ගේ ඇහේ තියෙන රොඞ්ඩ අරන් දාන්නට යොමුවන්නේ අපේ ඇහේ ඇති පොල්පරාල අරන් දැමීමෙන් පසු බව කියන්නට කැමැත්තෙමු.

උන්ගේ කරුම විපාක කර ගැසිය යුත්තේ උන් ය. අපට කර ගැසීමට සිදුවන්නේ අපේ කරුම විපාකයන්ට ය.

Advertisements
Posted in: Uncategorized