අසෝක රජු ධර්මාශෝක වෙයි. ධර්ම ද්වීපය යුද ද්වීපයක් වෙයි!

Posted on June 20, 2009



ගෙවුණු පොසොන් උත්සවය සමයේ මිහිදු හිමියන් ගැන ධර්මදේශනාවල සදහන් වූ නමුත් එතුමන්ගේ ධර්ම චාරිකාවට හේතු භූත වූ අසෝක අධිරාජයාගේ පරිවර්තනය ගැන සදහන් නොකිරිමට හැම හිමිනමක්ම කටයුතු කළ බව අපට ලියා දැන්‍වූයේ රසික ය.

අශෝක මගධ දේශය එකම ලේවිලක් කරමින් යුද්ධයෙන් ජයගත් නමුත් එහිදී අත්දුටු විනාශය නිසා ඒ ගැන කළකිරී සිටියේ ය.

අසෝක රජුන් බුදුදහම වැළදගැනීමට එක් හේතුවක් වූයේ ද මේ කළකිරීම ය.

අප එසේ කළකිරුණේ නැත.

ඇත්තටම එයට හේතුව ඒ විනාශය අපෙන් සැගව තැබූ නිසා ද නැතිනම් අප ඒ තරමටම අසංවේදී නිසා ද යන්න වෙනම සොයා බැලිය යුතු කාරණයකි.

ජයග්‍රහකයාට කිරුළු පැළදුවා මිසක ඔහුට ආයුබෝ පැතුවා මිසක අප ද ඒ ජයෙන් උද්දාම වූවා මිසක සුලු හෝ සන්තාපයක් ඇතිවීමට හේතුවක් අපට තිබුනේ නැත.

අපි අසෝක රජුගේ ධර්මය මතුපිටින් ගෙන එතුමා අත් හළ දේ හදවතින් වැළද ගතිමු.

එතුමා ධර්ම ප්‍රචාරය කළ රටවල් බොහෝමයක් අතුරින් බුද්ධාගම ඉතිරිව ඇතැයි සැළකෙන්නේ එසේ කටයුතු සිදුවන ලංකාවේ ය.

එක් යුද්ධයක් අවසන් කළ අපි දැන් පිටගම්කාරයින්ට එරෙහිව කැළණියේ ද රටට ආදරේ නොකරන අයට විරුද්ධ සංග‍්‍රාමයක් රට පුරාම ද දියත් කර ඇත්තෙමු. ලේ දැකීමේ අපුලක් අපට නැති බවත් ලේ තවතවත් දැකීමේ ආසාවෙන් අප පෙළෙන බවත් මෙසේ අප විසින් ම ඔප්පු කරමින් තිබේ.

එවන් බුද්ධාගමකට පැතිය හැක්කේ කාගේ සරණ ද?

Posted in: Uncategorized