කැළණිය ගිනි ගනියි! දුටුගැමුණු පරපුරේ වැඩ කිඩ කැළණියෙනුත් ඔබ්බට!

Posted on June 14, 2009



දෙන්නාම සිල්වා ලා ය.

දෙන්නාටම ආචාර්ය පදවි තිබේ.

එකෙක් කැළණියට අධිපති ය. අනෙකා කැළණි සරසවියට අධිපති වගේ ඉන්නට කැමති ය.

දෙන්නාටම එක පමණටම කේන්ති යයි. එවිට විරුද්ධවාදීන්ට සිදුවන්නේ ගුටි කන්නට ය. දෙන්නාගේම ගොලබාලයෝ ද බලා සිටින්නේ මහතැන තමුන්ට එවැනි ‍කොන්ත්‍රාත් එකක් පවරන කම් ය.

දෙන්නාටම දුටු ගැමුණු සමග සම්බන්ධයක් ඇත. එකෙක් ඒ පරම්පරාවේ ය. අනෙකා ඕල්කට් බුදුදහමට එරෙහිව දුටුගැමුණු බුද්ධාගමේ අග්‍ර ශ්‍රාවකයා ය.

දෙන්නාම ආණ්ඩුවේ සිංහල බෞද්ධ ජාතිවාදී ව්‍යාපෘතිය හා හරි හරියට සම්බන්ධය. එකෙක් ව්‍යාපෘතියට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අතර අනෙකා ඊට ඇගේ හයියෙන් උර දෙයි.

එකෙක් ‍පුරෝහිතයෙකි. අනෙකා දස මහා යෝධයෙකි. ඒ නිසා දෙදෙනාම රජුට අවශ්‍යවම තනතුරු දරන්නෝ ය.

හැප්පුනේ මේ දෙන්නාගේ ගෝල බාලයින් ය. කෙළින්ම නැතත් වක්‍රව හෝ ඒ අයගේ හිතවත්තු ය.

සාමාන්‍යයෙන් නොකියන කතා කියන අපේ මිත්‍රයාට අනුව දෙගොල්ලන්ම පහුගිය දොහේ එකතු වී කොඩි වනන්නට ඇත. කිරිබත් බෙදන්නට ඇත. එයිනුත් නොනැවතී කිරිබත් එක එකාට කවන්න ද ඇත. රතිඤ්ඤා පත්තු කරන්නට ඇත. වාහනවල නැගී කැළණිය දෙවනත් කරන්නට ඇත.

දැන් එක ගොල්ලක් අනෙක් ගොල්ල හඹා යමින් කැළණිය දෙවනත් කරති.

හරියට මීට මාස කීපයකට උඩදී ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක සේවකයෝ ආණ්ඩුවේ මැර හමුදාවේ ප්‍රධානියෙකුට නෙළුවා වාගේ ය. ඊට පසු තිබුනේ මැර ප්‍රධානියාගේ වාරයයි. එතුමා ද ලොක්කා කියන තුරුම නෙළුවේ ය. කැපුවේ ය. ගැසුවේ ය.

මේ ගැටුමත් සමනය කරන්නට සිදුවනු ඇත්තේ ලොක්කාටම ද?

ආරියරත්න ඇතුගල තරමටම එම විශ්වවිද්‍යාලයේම නලින් ද සිල්වාත් මර්වින් සිල්වා ඉදිරියේ අසරණ ද? ඇතුගල ගානටම නලිනුත් තම ගෝලයින් පාවා දී අත සෝදා ගනී ද?

අපි සිනහමුසු මුහුණින් මේ චණ්ඩිපාට් සමාජයේ ගොබ්බ විහිළු දෙස බලා සිටිමු.

මහාචාර්ය නලින් ද සිල්වා ට ජයවේවා! ආචාර්ය මර්වින් සිල්වාට ජයවේවා! මහරජාණන්ට ආයුබෝ වේවා!

(අප මේ සටහන ලිව්වේ කැළණි සරසවිය ගැනත් කැළණිය ගැනත් මේ ගැටුම ගැනත් අපට අසන්නට ලැබුණු තොරතුරු අනුව ය. කතාව මීට වඩා වෙනස් නම් අප ඒ බව ද දැන ගැනීමට කැමති ය. නලින් ද සිල්වා මීට කෙලින්ම සම්බන්ධ යයි අපි නොකියමු. එහෙත් තමන්ගේ මතවාදයන් සැහැසි ලෙස ගෙන යන්නට නරක ආදර්ශයක් දීම මගින් ඔහුට කැළණිසරසවි සිසුන්ගේ අනියම් රෝල් මොඩල් එක වී තිබේ. ඒ නිසා සිසුන්ගේ හැසිරීමේ පෙන්වන ගෝත්‍ර ලක්ෂණවල බර පැන ඔහුට ද උසුලන්නට සිදුවේ. එය මහරජා පෙන්වන ලක්ෂණම ය.)

Posted in: Uncategorized