පෝය නිවාඩු ඇතුළු ප‍්‍රසිද්ධ නිවාඩු අඩු කර වැඩට බහිමු ද? – ඒ සඳහා ගෙවීමකුත් ලබා ගෙනම

Posted on June 13, 2009



අපේ රටේ ප‍්‍රසිද්ධ නිවාඩු ගණන අතිශයින් වැඩි ය. අතරින් පතර මැච් එකක් දින්නහමත් නිවාඩු දෙන නිසා එය තවත් වැඩි ය.

සතියේ බ‍්‍රහස්පතින්දා හෝ අගහරුවාදා නිවාඩු ලැබුනොත් පිළිවෙලින් සිකුරාදා හා සඳුදා පවා බොහෝ අය අල්ලා ගන්නට වන්නේ දැල් දමා ය. එක දිගට කළයුතු වැඩපිළිවෙලක් සඳහා මාසයේ දින කීපයක් වෙන් කර ගැනීම පවා මේ නිසා අපහසු කාරණයකි.

අප දැන් අවුරුදු තිහක් ආපස්සට ගොස් නැවත මුල ඉඳන් පටන් ගන්නට සූදානම් නිසා මේ ගැන යමක් කළ යුතු ය.

හැමදාම ආණ්ඩුවට බැණ බැණ සිටි  BF මේ හදන්නේ ආණ්ඩුවට උදව්වක් කිරීමට ය. යෝජනාව පෝය නිවාඩුව ද ඇතුළු නිවාඩු අඩු කිරීමට ය. එක් ආගමකට එක් නිවාඩු දිනයක් බැගින් හා ලංකාවට විශේෂ වූ දිනයක් බැවින් අමතරව පොසොන් උත්සවය සදහා නිවාඩු දිනයක් ලබා දී ඉතිරි සියලු නිවාඩු දින අහෝසි කිරීමට යෝජනා කෙරේ.

ජනතාව මෙතෙක් වින්දාවූ යම් වරප‍්‍රසාදයක් ආපසු ගන්නා විට ඊට ප‍්‍රමාණවත් වන්දියක් හෝ ආදේශකයක් සැපයිය යුතු යයි BF විශ්වාස කරයි. ඒ නිසා මේ නැතිව යන නිවාඩුව වෙනුවෙන් වැටුප් සංශෝධනයක් කළ හැකි ය.

ආගමික වතාවත් කර ගෙන යා යුතු අය වෙනුවෙන් ද BF ගේ යෝජනාවක් තිබේ. ඔවුන්ට තමන්ට අවශ්‍ය නම් මේ ආගමික දිනවල නිවාඩු ලබා ගැනීමේ අවසරය තිබේ. එහෙත් ඒ සඳහා දැන් මුදලක් ලැබී ඇති බැවින් ඒ මුදල පඩියෙන් අඩු කර ගැනීමේ පදනම මත ය. එවැනි නිවාඩු සාමාන්‍ය පඩි රහිත නිවාඩු ගණයට නොවැටෙන සේ ‍විශේෂ පඩි රහිත නිවාඩු යනුවෙන් අර්ථ නිරූපනය කළ හැකි අතර ඒ සදහා වෙනත් දඩුවමකට යටත් කළ නොහැකි වනසේ රෙගුලාසි සකස් කළ හැකි ය.

මේ වැඩපිළිවෙල යටතේ පෝය දිනවල හා වෙනත් ආගමික නිවාඩු දිනවල ආගමික වතාවත් කර ගෙන ගිය අයට අමතර වෙහෙසක් නැතිව ඒ සඳහා ඉඩ ලැබෙන අතර එසේ නොකරන අයට වැඩට පැමිණ ඒ වෙනුවෙන් මුදලක් ලබා ගැනීමට ඉඩ ලැබේ.

කාර්යාල වැඩිපුර දින ගණනක් විවෘත ව පවතින නිසා මහජනතාවට තම වැඩ කරගැනීමට පහසුවන අතර වෙනදා මෙන් කටයුතු කරගෙන යන අයට ඒ සඳහා ද ඉඩ විවෘත වේ.

ආගමික කටයුතු සඳහා සහභාගී වීම වෙනුවෙන් තමන් යම් මුදලක් අත හරින නිසා තමන්ට ලැබෙන පින ද වැඩිවන හෙයින් එයින් අමතර සතුටක් ද අත් වේ.

අමාරුවේ වැටී ඇති ආණ්ඩුවට ද නැගිටීමට මෙයින් අමතර අවස්ථාවක් උදාවෙන අතර අතරමග ඇණ හිට තිබූ අපේ සංවර්ධන කටයුතු වේගයෙන් කර ගෙන යාමට ද ආණ්ඩුවට මින් අවස්ථාව ලැබේ.

රට ගැන මහත් අභිමානයෙන් සිටින මේ මොහොතේ තරම් මෙවැනි ඉදිරිගාමී පියවරක් ගැනීමට සුදුසු අවස්ථාවක් නැවත එළඹෙතැයි සිතන්නට බැරි ය.

Posted in: Uncategorized