සඳ බැස ගිය වගයි – රාවය කර්තෘ වික්ටර් අයිවන්ගේ භූමිකාව ගැන විවරණයක්

Posted on June 12, 2009



කළුවර අහසේ එකම එළිය සඳ විය. එහි එළිය දුබල වූ බව සැබෑ ය. එහෙත් කළුවර රැයක එයත් එළියකි.

අප වික්ටර් අයිවන්ගේ රාවය එහි සියලූ අඩුපාඩුකම් මැද දුටුවේ එසේ ය. එහෙත් තව දුරටත් එය එසේ නොවේ.

පෝද්දලලාට ගුටි ඇනීම සාධාරණ නොවෙතත් සාධාරණීකරණය කරන්නට ඔහුගේ හැසිරීම හේතුවන්නට ඇතැයි කියමින් උපුල් ශාන්ත සන්නස්ගල පාරක් දැම්මේ එසේ අපගේ කිසියම් ගෞරවයක් දිනා සිටි රාවය කර්තෘ වික්ටර් අයිවන් ය.

පෝද්දලට එල්ල කළ පහර සාධාරණත් නැත අසාධාරණත් නැත යයි වික්ටර් හිරිකිතයක් නැතිවම ලියයි.

ඉබ්බාගෙන් පිහාටු නොඉල්ලා ඔහු මහින්ද රාජපක්ෂගෙන්  ජනමාධ්‍යවේදීන්ට රැකවරණය ඉල්ලයි. ඇත්තටම මර්වින්ගෙන් ඉල්ලූවානම් එය ඊට වඩා හොඳ වන්නට තිබිණි.

දෛවය රාවයේ වික්ටර්ට කාරුණික වුනේ නැත.  ඔහු සංවිධානය කළ මාධ්‍ය හා ජනාධිපති හමුව විකාරයක් කරමින් ඒ හමුව කෙරෙද්දීම පෝද්දල උස්සා ගෙන ගොස් සළකන ලද්දේ ය.

ඇත්තටම ඒ කොචොක් පාර වික්ටර් අයිවන්ට එල්ල කරන ලද්දකි. එහෙත් මේ අඳ බාලයාට ගාණක් නැත.

මිනිසුන් අසංවේදි වන්නට පටන් ගත් විට එහි කෙළවරක් නැත.

චෞර රැජිණ ලියූ වික්ටර්ම තවත් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් මෙසේ කඬේ  ගොස් රෑ වැටුණ වලේ දවල් වැටේ යයි සිතුවේ කවුද?

බල්ලෙකුට ස්වාමියෙක් නැතිව පැවැත්මක් නැත සමහර මිනිසුන්ට රාජ ඌෂ්ණය ඇති තැන්වල ගැවසෙන්නේ නැතිව නින්ද යන්නේ නැත ඔයින් කොයි එක වික්ටර් අයිවන්ට බලපෑවා දැයි අපි නොදනිමු.

තවමත් රාවය වික්ටර්ටම වෙන්වී නැත. එය විකිණෙන්නේ එබැවිනි.

සඳ බැස ගොසිනි. දැන් රැය එළිය ලබන්නේ තරු පන්තිය නිසා ය. රාවයේ සෙසු ලේඛකයින් නිසා ය.

වාසුත් සමගම ඊළග ලෝකයේදී වත් එකතුව රටට මොකක් හෝ කරන්නට සිතාගෙන තවත් ජරාජීරණ වන්නට පෙර ඉක්මණින් චුත වුවහොත් මිසක මේ කර ගෙන යන පව්වලට අනුව මියගිය දවසක ඔහු වෙනුවෙන් දුක්වන්නට ඉතිරිවනු ඇත්තේ ටික දෙනෙකු පමණ ය.

වික්ටර් අයිවන්ට සිදු වී ඇති දේ දෙස බලන විට අප සඳ යයි සිතා සිටියේ පරණ පැට්‍රොල් ලාම්පුවකට දැයි සැක හිතෙන තරම් ය.

Posted in: Uncategorized