බුද්ධාගමට පහළ වී ඇති අලුත්ම නිකායේ ධර්මය – ඒ අනුව මගේ වැඩ බොහෝමයක්ද ආගමානුකූල ය!

Posted on June 11, 2009



බුද්ධාගම තමන්ට අවශ්‍ය පරිදි විවිධ මිනිසුන් විසින් වරින් වර සංශෝධනය කරගනු ලැබුවේ ය.

විවිධ ආගමික නිකායන් ප්‍රභේදයන් බිහිව ඇත්තේ ඒ අනුව ය.

මෑතකම ප්‍රභේදය ලංකාවෙනි. ඒ ‍‍”ඓතිහාසික” යුද ජයග්‍රහණයත් සමග ය.

ඊට අනුව යුද්ධකරන්නේ රට වැසියා රැක ගැනීමට නම් ඒ යුද්ධය ආගමානුකූල ය. මේ අදහස ‍බොහෝ නව නිකායකින් අතර තිබෙතත් මෙය වඩාත් හොදින් ලේඛන ගත කිරීමේ ගෞරවය හිමිවන්නේ මේ දිනවල අපේ බ්ලොග් අඩවියට නිතර යනෙන යවේස් ලු මිනිසාට ය. එතුමාගේ සම්පූර්ණ ප්‍රතිවාරය සදහා මේ සටහනට පිවිසෙන්න.

“වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව උන් වහන්සේ දෙශනා කල බව සැබෑය. එහෙත් පාලකයකු යමකු හා සටන් වදින්නේ තම රට වැසියා බේරා ගැනිමේ උදාර පරමාර්ථයෙන් නම්, එහි වෛරය ඇත්තේ කොතනදැයි සෙවීම බී.එෆ්. වැනි මහ බුද්ධිමතුන්ටම භාර කළ යුතුය. අපි දන්නා අන්දමට නම් චේතනාව කර්මයට මුල් වෙයි. (බී.එෆ්. ගේ බණ පොතේ මොකක් තියේ දැයි මම නොදනිමි.) මේ අනුව වෛරී චේතනාවකින් තොරව වුවද යුද්ධ කළ හැකිය.”

ඒ අනුව මගේ බොහෝ වැඩ ද ආගමානුකූල ය.

ඊයේ රෑ සුමනසේනගේ බිරින්දෑ සමග මා නිදි යහනට ගියේ ඇය ගැන ඇති වූ අනුකම්පාවෙන් මිසක රති කෙළියේ ආශ්වාදය සදහා නොවේ. මගේ කටයුත්ත ඒ නිසාම ආගමානුකූල ය.

ඊයේ මා නිදිවැද්දේ අල්ලපු ගෙදර රොමානිස්ගේ බිරිද සමග බව සුමනසේනට කීවිට මා ඉන් අදහස් කළේ සුමනසේන රැවටීමට නොව මා ගැන ඔහුට ඇතිවිය හැකි ව තිබු සැකයක් මතුව එයින් හිත්වේදනාවක් ඇතිව තිබුනේ නම් එය නැති කිරීමට ය. මා බොරුවක් කීවා නම් කීවේ ඒ චේතනාව පෙරදැරිව ය. ඒ නිසා මා මුසාවදාව කඩා නැත (සුමනසේනගේ බිරිද සමග ඊයේ නිදා ගත්තේ යයි සුමනසේන සමග කීවේ නම් ඒ මනුස්සයා ඉන් කම්පනයට පත් වෙන බව මම දනිමි. එය දැකීමට මගේ අකමැත්තක් තිබුනා මිසක ඔහු මුලා කිරීමට නම් මට කිසිම වුවමනාවක් තිබුනේ නැත).

මා දිනපතා කුකුලුන් හැට හැත්තෑවක් මරණ විට මගේ සිතට එන්නේ තම පිගානේ කුකුල් මස් දැකීමෙන් මන්දාස්මිතයක් නැගෙන කුඩා දරුවන්ගේ මුහුණු ය. ඒ නිසා මා පාණාතිපාතාව ද කඩා නැත (මස් කෑමට මගේ ලොකු කැමැත්තක් පවා නැත! ඇත්තටම මගේ අඹුව පිගානට බෙදා දෙන නිසා මිසක මා මගේ වුවමනාවෙන් මගේ පිගානට මස් බෙදාගෙන නැත).

මා හොරකම් කරන විට මගේ සිහියට එන්නේ ඒ එකතු කරන මුදල් වලින් වාහනයක් ගෙන මගේ දරුවා පාසල් යැවීමේ චේතනාව පමණකි. ඒ නිසා මා අදින්නාදානාව ද කඩා නැත (කුඩා එකා එයින් විදින ආශ්වාදය ගැන මා කොතරම් නම් සිහින දැක ඇත් ද?).

හදිසියේ අඩියක් ගහන්නේ යාලුවන් වෙනුවෙනි. මා මත්පැනට නම් කොහෙත්ම ගිජු නැත. ඒ නිසා සුරාමේරය ද මා කඩා නැත (මා කිසි දිනෙක තනියම අඩි ගසා නැත).

බැලුවහම මා සියල්ල කර ඇත්තේ පිරිසිදු සිතකිනි. ඒවා සියල්ල අලුත් බුද්ධාගමට අනුව ආගමානුකූල ය.

මා හිතා හිටියේ මේ කරන පව්වලට මට ආත්ම ගණනක් නිරයේ ගෙවන්නට වෙයි කියා ය. දැන් බැලුවහම එහෙම වෙන එකක් නැත. ඒ නිසා මේ අලුත් නිකායේ සමාජිකත්වය ගැනීමට මම කැමැත්තෙමි.

ඔබත් කැමති ද? ඇත්තටම ඒ සදහා අනුගමනය කළ යුත්තේ සිම්පල් ප්ලෑන් එකකි. කරන මගෝඩි කමක් පිරිසිදු සිතකින් කිරීම ය.

තවත් සැක සාංකා ඇත්නම් “යවේස්ලු මිනිසා” පූජක තැනගෙන් අසා නිරවුල් කර ගත හැකි ය.

Posted in: Uncategorized