ඊළග සිවිල් යුද්ධය දකුණේ ද? උතුරේ ද?

Posted on June 10, 2009



දකුණේ කැරලි දෙකක් තිබුනේ ය. උතුරේ දිග් ගැස්සුණු කැරැල්ලක් විය. දැන් ඒ සියල්ල ඉවර ය.

අපට එසේ සිතා සැනසුම් සුසම් ‍හෙළිය හැකි ද? ඒ කොතරම් කාලයකට ද?

ඊළග සිවිල් යුද්ධය ඇරඹෙනු ඇත්තේ කොහි ද? උතුරේද? දකුණේ ද?

අප එසේ අසන්නේ විදින ආතල් එක ගැන ඉරිසියාවෙන් යයි සමහරු කියති. එහෙත් එසේ කියන බොහෝ දෙනා විමසුමට ලක් නොකරන්නේ

  1. මේ කැරලි ඇතිවීමට බල පෑ හේතු කවරේද
  2. ඒවා සමහරු විශ්වාස කිරීමට කැමති ආකාරයට විජේවීර ප්‍රභාකරන් වැනි පුද්ගල සාධක ද
  3. අප ඒවාට ජන්මය දුන් හේතු සියල්ල සොයා ගෙන තිබේ ද
  4. ඒ හේතු අයින් කිරීමට අපට කළ හැක්කේ මොනවාද
  5. ඒ ක්‍රියාමාර්ග අප හදුනාගෙන තිබේ ද
  6. ඒවා ක්‍රියාත්මක කිරිමට ප්‍රමාණවත් කටයුතු සිදුවෙනවා ද යන ප්‍රශ්නයන් ය.

මේ ප්‍රශ්නවලට උත්තර නොසොයා අපට චෝදනා පමණක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන අයට අනුකම්පා කිරීමට හැර අපට කළ හැකි දෙයක් නැත.

සමහරු කියන්නේ උතුරේ යුද්ධයට බදවා ගත් සොල්දාදුවා නිසා දකුණේ රැකියා ප්‍රශ්නය එක්තරා දුරකට විසදුන බව ය. යුද්ධය තුළ දකුණේ තරුණයා අත්විදි කීර්තිය හා ප්‍රසාද නිසා දකුණේ ගම්බද තරුණ අසහනයට ‍පුංචි විරාමයක් ලද බව ය. ඉදිරියටත් එය එසේම තියේවි ද? යුද්ධයක් නැති තත්වයක් තුළ මේ වීරාභිනන්දනය කොතෙක් කල් ගෙන යා හැකි ද?

උතුරේ අවතැන් වූ කදවුරු තුළ හා ඉන් පිටත උන්ගේ නෑදෑයින්ගේ හදවත්වල තුවාල ප්‍රමාණවත් ‍ලෙස සුවකරන්නට දකුණ සමත් වේ ද? උන් කම්බිවැටවල් තුළට කොටුකර උන්ගේ විරෝධය කම්පාව හා වේදනාව උන්ගේ හදවතට පමණක් සීමා කොට තව කොපමණ කලක් සිටිය හැකි ද?

රට පුරා පිබිදෙන ආර්ථිකයකින් මෙහා මේ තුවාළවලට ප්‍රතිකර්මයක්වත් මේ අසහනයට සහනයක්වත් වුවමනාව තිබුන ද ලබා දීමට හැකිවන්නේ ද?

අවසානයේ සියල්ල ලඝුවන්නේ එතැනට ද?

අප කළ යුත්තේ යුද්ධයේ ආශ්වාදය දිගටම විදිමින් මේ යථාර්ථයන්ට පිටුපෑම ද? දැන් සියල්ල හරියයි සිතා අත පිස දමා ගැනීම ද? නැතිනම් එන ඕනෑම අසහන රැල්ලකට උත්තර ලෙස ශක්තිමත් හමුදාවක් නඩත්තු කිරීමට කටයුතු කිරීම ද?

ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි ය. ඒ නිසා පමා නොවී මේ පැනයන්ට පිළිතුරු සෙවීම සුදුසු ය.

Posted in: Uncategorized