දෙවැනි මහින්දාගමනය නිසා තව පොඩ්ඩෙන් අමතක වන්නට තිබූ පළමු මහින්දාගමනය සමරන මේ මො‍හොතේ…

Posted on June 6, 2009



පොසොන් සද රැසින් පරිසරයම නැහැවෙයි.

මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියායයි කියන්නේ වසරේ මේ කාල වකවානුවේ ය. පොසොන් සද රැස් මතක් කර දෙන්නේ ඒ මහින්දා ගමනයයි. ඒ අප අත්දුටු පළමු මහින්දා ගමනයයි.

ඊයේ පෙරේදා සිදුවූ දෙවැනි මහින්දාගමනය අප තවමත් සමරා අවසන් නැත. පොසොන් සද රැසත් සමග ඒ පිටට අප වෙත කඩා පාත් වෙන්නේ අපට අමතක වෙමින් තිබෙන පළමු මහින්දාගමනයයි. මිහිදු හිමිගේ පැමිණිමයි.

රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වුනු ප්‍රථම විදේශිකයා මිහිදු මහරහතන් වහන්සේ නොවෙතත් එතුමාගේ මැදිහත් වීම ඉතා තීරණාත්මක එකක් වූ බව කවුරුනුත් පිළිගනිති. එය රට තුළ විශාල වෙනස්කම් ඇති කළ බවත් ඒ නිසා රටට සෙතක් සාන්තියක් වූ බවත් බොහෝ දෙනාගේ මතය වී තිබිණි.

විදේශික මැදිහත් වීමකින් එවැනි සාධනීය දෙයක් සිදුවෙතැයි අද වාසය කරන අපට නම් හිතා ගන්නටවත් බැරි ය.

අශෝක අධිරාජයා සිය අධිරාජය ව්‍යාප්ත කිරීම සදහා කරන ලද තනාපතිමය මැදිහත්වීමක් ලෙස සමහරු මේ ගමන අර්ථ දක්වන්නට කැමති ය. අවිබලයෙන් යටත් කර ගත නොහැකි නම් පරිවාර රටවල් මතවාදීමය වශයෙන් වහලුන් කර ගනී යයි එදා කිසිවෙක් බිය වූයේ නැත් ද? බිය වූ නමුත් එය ඉතිහාසය ලියන්නා නොලියා මගහැරියා වත් ද?

මේ ප්‍රශ්න නැගිය හැක්කේ BF වැනි නරුමයෙකුට පමණි.

අප බුද්ධාගම පමණක් නොව සෙසු ආගම්ද ලද්දේ එවැනි මැදිහත් වීම් නිසා ය. නැතිනම් අපට ඇදහීමට හිටියේ අපගේ නෑ යකුන් ටික පමණකි.

රටක අනාගතය ඇත්තේ විදේශික සියලු දේ බැහැර කිරීමේ ද නැතිනම් ඕනෑම දෙයක් දෙස විමසුමෙන් බැලීමෙන් අනතුරුව අපට ඔබින දේ අපේ දේ ලෙස උරුම කර ගැනීමෙන් ද?

අපට ඔබින්නේ මොනවාද?  ඒවා අපට ඔබිනවා දැයි තීරණය කළ යුත්තේ කවුද? ඔබිනවා ද නැත්ද යන්න තීරණය කිරීමට අප භාවිතා කළ යුතු මිණුම් දඩු මොනවා ද?

සියලු සත්ත්වයාට මෛත්‍රිය කරන්නැයි මිහිදු හිමියන් කී උපදේසය අපිට නොහොබිනේ යයි අමතක කොට වෙසක් මාසයේ අපි කොටින් ටික සමූල ඝාතනය කර දැමුවෙමු. ඒ පිටදේශක්කාර මහින්ද අමතක කොට අපේ දේශිය මහින්ද සරණ යමිනි.

අපට ඔබිනවා යයි අප විසින් දැනට සළකන එහෙත් අප විසින් ඇත්තටම බැහැර කළ යුතු තවත් එවැනි දේ තිබේ ද?

මෙකී නොකී බොහෝ දේ සිතෙයි. එහෙත් එක ප්‍රශ්නයක් පමණක් නගා නිහඩවෙමි.

දෙවැනි මහින්දාගමනය විසින් පළමු මහින්දාගමනය අප කලින් දැක්වූ පරිද්දෙන් අහෝසි කර දමා ඇත් ද? මේ ප්‍රශ්නය නගන්නේ එළඹෙන හෙට  පළමු මහින්දාගමනය සැමරීමට සූදානම් වන මුත් සති දෙක තුනකට පෙර ආරම්භ කළ දෙවැනි මහින්දාගමනය සැමරීම නැවැත්වීමට තවමත් අපට නොහැකිව තිබෙන මො‍හොතක ය.

ඔබ හැමට සුභ පොසොන් මගුලක් වේවා!

Advertisements
Posted in: Uncategorized