රට කොටියාගෙන් නිදහස් කරගෙන බාර දෙන්නට යන්නේ බල්ලන්ට නම්…

Posted on June 6, 2009



කුමාරසිරි හෙට්ටිගේ යනු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම් ය.

එතුමාගේ මස්සිනා කෙනෙක් වැඩ බලන විදුහල්පති කෙනෙක් ලෙස මාතර පැත්තේ පාසලක කටයුතු කරයි. විදුහල්පති තනතුරක් දැරීමට නොව එවන් තනතුරක වැඩ බැලීමටවත් ඔහුට සුදුසුකම් නැතැයි කියවේ.

ඒ නිසාදෝ මේ විදුහලට නිසි පත්වීමක් සහිත විදුහල්පති වරයෙක් ‍පසුව පත්කරන ලදී. එහෙත් පැමිණි විදුහල්පතිට වැඩ බාරදීම මේ වැඩ බලන විදුහල්පති ප්‍රතික්ෂේප කරයි.

පාසලේ වැඩ කටයුතු අවුල්වන අතර නෙත් FM ගුවන් විදුලිය මේ පිළිබදව සොයා බලයි. ලංකාවේ අධ්‍යාපනයට පමණක් නොව පරිපාලනය දේහයටම වැළදී ඇති අට අනුවක් රෝග දහ අනූවක් ව්‍යාධි මතුවන්නේ ඒ ගවේෂණයේදී ය.

ඒ පිළිබද අප දැනගන්නේ ජූනි 5 දා විසුරුවා හැරුණු බැලුම්ගල වැඩ සටහන ඔස්සේ ය.

මේ ගැන විමසන්නට ගුවන් විදුලිය කුමාරසිරි හෙට්ටිගේ මහතා ඇමතූ විට ජනමාධ්‍යවේදියාට අහගන්නට ලැබෙන්නේ තිත්ත කුණුහරුප සහිත ප්‍රතිචාරයකි.

එතැන් පටන් දකුණු පළාතේ ආණ්ඩුකාරවරියගේ සිට පහළ නිලධාරීන් දක්වා මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්නට උත්සහ ගත් හැම වාරයකම ඔවුන්ගෙන් දකින්නට ලැබුනේ එක්කෝ ඇගට කඩා පැනීමත්, මගහැර යාමත්, අහවලාගෙන් විමසන ලෙස කීමත්, කිසිත් නොකියා දුරකථනය විසන්දි කිරීමත් වැනි ප්‍රතිචාරයන් ය.

මුලුමහත් රාජ්‍ය අංශය පුරාම පැතිර පවතින මේ අදුර ‍තේරුම් ගැනීමට ඒ වැඩසටහන පමණක් හොදටම ප්‍රමාණවත් ය.

නෙත් FM ගුවන්විදුලියත් මේ ප්‍රශ්නය ගැන කතා කළ බොහෝ දෙනෙකුත් ජනාධිපතිතුමාව සුද්ද කර සියලු කුණු නිලධාරීන්ගේ කිල්ලෝටයටම බැර කරන්නට කටයුතු කළහ.

එක්කෝ ඒ බයට ය. නැත්නම් එවැනි හෝදාපාලුවක් මේ දිවයිනේ ඇතැයි පිලි ගැනීමට ඇති අකමැත්තට ය.

ජනාධිපති සෙවනේ සිටින කුමාරසිරි හෙට්ටිගේට එරෙහිව ඇති එකම පැමිණිල්ල මෙය විය නොහැකි ය. නෙත් FM ගුවන්විදුලිය සතුවම පුද්ගලයාට එරෙහි මැසිවිලි ගණනාවක්ම ඇති බව මේ වැඩ සටහනේදීම ප්‍රකාශ විය.

ජනාධිපති විසින්ම ‍තෝරා පත් කර ඇති ආණ්ඩුකාර ආර්යාව ගේ තුච්ච හැසිරීමට ජනාධිපති වග කියන්නට ඕනැ නැතැයි කෙනෙකුට කිව හැකි මුත් ආණ්ඩුකාර පදවියක් වැනි බැරැරුම් කටයුත්තකට මෙවැනි කඩා පනින කෙනෙකු හැර පත් කරන්නට වෙනත් අය නැත්නම් එයින්ම ආණ්ඩුවේත් පොදුවේ රටේත් පවතින බංකො‍ලොත්භාවය ප්‍රදර්ශනය වීම වළක්වන්නට බැරි ය.

අධ්‍යාපනයට අදාළ පුංචි නිලධාරියෙකු කතා කරමින් කීවේ කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ නම ඇසෙන විටත් ඉතා ඉහළ නිලධාරීන් පවා (ලේකම් වරු පවා) බිය වන බව ය. ඇත්තටම මේ ප්‍රශ්නය විසදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කටයුතු කර ඇත්තේ තමන් විසින් ‍පත් කරන ලද විධිමත් විදුහල්පති වහාම ඉවත් කර ගැනීමෙනි.

රට කොටියාගෙන් නිදහස් කරගෙන බාර දෙන්නට යන්නේ බල්ලන්ට නම් එතැන පොඩි පරහක් ඇත.

සෑම අදුරු වළාවකම ‍රිදී රේඛාවක් ඇතැයි කියනු ලැබේ. සතුටට ඇති එකම කාරණය ජන මාධ්‍ය වේදීන් 11 ක් මරා දමා තිබියදී 27 කට තුවාල කර තිබියදීත් තවත් ගණනාවක් පැහැර ගෙන ගොස් සිදුවූයේ ‍කුමක්දැයි පවා සොයා ගැන්මට නොහැකිව තිබියදීත් මෙවැනි ශෝචනීය තත්වයන් පිළිබද ජනතාව අවදියෙන් තබන්නට මාධ්‍යවේදීන් තවමත් ඉදිරිපත් වීම ය.

අපි උනට මල් මිටක් පුදමු.

Posted in: Uncategorized