තව මදි වගේ තව ටිකක් විතර සමරමු ද? කිරි නම් කවදා බොන්න බැරි ද?

Posted on June 5, 2009



ජාතික මට්ටමේ සැමරීම තවමත් අවසන්ව නැත. ඊයේ පෙරේදා සිට අපි ඊට අමතරව පළාත් මට්ටමෙන් ද සමරන්නට පටන් ගත්තෙමු.

ලබන සතියේ සිට මෙය ප්‍රාදේශීය මට්ටමට ගෙන යාමේ අපේක්ෂාවක් ඇත. ඉන්පසු ගම් මට්ටමත් ඊටත් පසු පවුල් මට්ටමටත් ගෙන යා හැකි ය.

කොච්චර සැමරවත් ඒත් මදි වගේ ය. ඇත්තටම ඒ තරමට ආතල් ය.

මෙහෙම ආතල් එකක් වින්දේ වර්ල්ඩ් කප් එක ගහපු වෙලාවේ යයි සමහරු කියති. ඒ ක්‍රිකට් ලෝලයින්ට දැනෙන හැටිය. අපට නම් එහෙම නැත. මේ ආතල් එක සමග එකට හිටින්නට වත් ඒකට පුලුවන් ද?

සමහරුන්ට මේ ගැන ඉරිසියා ය.

උන් කියන්නේ දැන් ඔය ඇති. කට පුච්චානම පැත්තකින් තියා වැඩට බහින ලෙස ය.

මේ සදහා පාසල් වැහුවේ දවස් කීය ද? කාර්යාලවලට නිවාඩු දුන්නේ දවස් කීය ද?

අනේ උනුයි අපයි දන්නා වැඩ! මීටත් වඩා ලොකු වැඩක් මේ ගෙවී යන හෝරාවේ තියෙන්නට පුලුවන් ද?

පෙර රජ දවස සති ගණන් මාස ගණන් මෙවැනි අවස්ථාවල මගුල් කෑ බව ඉතිහාසයේ සදහන් ය. බොරු නම් බයිලා චක්‍රවර්තීගෙන් අසා දැන ගන්න.

කොටින්ට ලජ්ජා හිතෙන්නට තවත් සති කීපයක් මේක ඇද ගෙන ගියාට කමක් නැත. ආයි මෙහෙම සැමරීමකට අවස්ථාවක් ලැබෙනු ඇත්තේ ශත වර්ෂ කීයකින් ද? ලැබුණු වෙලාවේ එයින් උපරිම ප්‍රයෝජන ගන්නේ නැති ව අත අරින්නේ මොන මෝඩයා ද?

කොටින් බිම දාපු එකේ දැන් ලෝකයටම ඕනෑ නම් වැඩක් දෙන්නට අපට පුලුවන. එහෙම වෙලාවක සමරන්නට යමක් ඉතිරි කර ගත යුතුයයි සමහරු කියති. තව ලක්ෂයක හමුදාවක් ගේන්න හදන්නේ තවත් ජයග්‍රහණයන් ලබා ගන්නට නම් අපට බලාපොරොත්තු තැබිය හැකි ය.

ආටි බැරල් දකින කොට නම් ආසාවේ බැරි ය. ඊළග පාර යුද්ධයක් ආවොත් මාත් යනවා ය. මා නම් යන්නේ කාල තුවක්කු රෙජිමේන්තුවට ය.

මා දුකින් ඉන්නේ කොටින්ගෙන් අල්ලා ගත් ආයුධ ප්‍රදර්ශනය කරනවා යයි කිව්වාට එසේ නොකිරීම ගැන ය. ඒවා දැන් අපේ නිසා ආඩම්බරය වැඩි ය. ඒවා ප්‍රදර්ශනය කරන දවසක් ළග පාතක තිබුනොත් දන්වන්න. කැටේ ඉතිරි සල්ලි එහෙම ගමනකට රදවා තබා ඇත්තේ දරුවන් කිරි ඉල්ලා අඩද්දී ය.

කිරි නම් කවදා බොන්න බැරි ද?

Advertisements
Posted in: Uncategorized