පෙර රජ දවස වන්දිභට්ටයන් රජුට ප්‍රශස්ති ගී ගැයූ බව මිසක…

Posted on June 4, 2009



රජ කෙනෙක් වීම පූරුවේ වාසනාවකි.

ඒ කාලේ රජ දරුවන් පිනවීම සදහා ප්‍රශස්ති ගැයීමට වෙනම වන්දිභට්ටයන් රජවාසල සිටි බව කියවේ. රජවරුන් සතුටින් තබා ගැනීමෙන් රට වැසියන්ට ද අත්වන්නේ සෙතක් සාන්තියක්ම ය.

ඇත්තටම අන්තං පුරයේ කීදෙනෙක් සිටින්නේද රජු අදින සළුපිළිවල වටිනාකම කීයද ජවුසම් නටා නාස්ති කරන කහවණු ප්‍රමාණය කොතෙක් දැයි විමසීමට කිසිවෙකුත් නොවී ය. ඒ නිසාම අනවශ්‍ය ප්‍රශ්නවලට උත්තර දෙන්නට යන්නේ නැතිව රාජ්‍ය විචාරන්නට රජතුමාට හැකි විය.

අධිරාජ්‍යවාදීන් විසින් කිසිම වටිනාකමක් නැති මාධ්‍ය හදුන්වාදීමට පෙර අපේ වගේ රටවල එහෙමට ප්‍රශ්නයක් තිබුනේම නැත.

තමන්ගේ කැස්ස හෙම්බිරිස්සාව අනුන්ට බෝකර එයින් සැනසීමට ලබන්නට අධිරාජ්‍යවාදීන් කල්පනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ද උන් මාධ්‍ය කියා මගුලක් අපටද හදුන්වා දුන්නෝ ය. කප්පරක් ප්‍රශ්න පැන නැංගේ ඉන් පසු ය.

අධිරාජ්‍යවාදී උප්පරවැට්ටිවලින් මිදීමට අප උත්සහ කරන මේ යුගයේ උන් අප මතට පැටවූ මේ මාධ්‍යයද පැරණි රජ දවස අනුගමනය කරමින් නැවත ප්‍රතිසංවිධානය කිරීම යුගයේ ප්‍රමුඛතම කාර්යය භාරයකි. අද යුගයේ අවශ්‍ය වන්නේ රජු ප්‍රීතියෙන් තැබිය හැකි වන්දි භට්ටයන් ය.

පොද්දල ජයන්ත ගුටිකන්නේ මේ ප්‍රතිසංවිධාන ව්‍යාපෘතියේ ‍අංගයක් ලෙස ය.

බටහිර ජාතීන්ගෙන් පමණක් නොව උන් හිතන විදිහට හිතන පුබ්බරුවන්ගෙන් ද අපට වැඩක් නැත. පැරණි අතීත ශ්‍රී විභුතිය ගොඩ නැගීමට යන මේ ගමනේ උන් බාධක පමණකි.

බාධක මුලුනුපුටා දැමීමේ කීර්තිමත් ඉතිහාසයක් අපේ රජයට ඇත. තවමත් ඒ ගැන සැක හිතන අයට පොද්දල ජයන්තගෙන් පාඩමක් ඉගෙන ගත හැකි ය.

Posted in: Uncategorized