එපා යයි පිටමං කළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අව්‍ශ්‍ය නැතැයි කී ණයක් ගැනීම සදහා විරුද්ධ පක්ෂයට අභියෝග කිරීම

Posted on June 3, 2009



ගිලෙන්න යන එකා පිදුරු ගහේත් එල්ලෙනවා යයි කතාවක් තිබේ. ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුය කියා ද කතාවක් තිබේ. අහේනි කාලෙට වමාරා කන්නට සිදුවෙන බවට ද කතාවක් තිබේ.

මේ සියල්ලේ සත්‍යතාවය එකවර අපට පසක් කළේ ජන මාධ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ය.

එක්සත් ජාතික පක්ෂයට රට ගොඩනංවන්නට රජයට සහය දෙන්නට අදහසක් වුවමනාවක් තිබේ නම් කළ යුත්තේ නිකම් වචන නාස්ති නොකර ක්‍රියාවෙන් ඒ බව පෙන්වීම යයි එතුමා කියා සිටියේ ය.

එසේ ක්‍රියාවෙන් පෙන්වීම සදහා අපූරු යෝජනාවක් ද එතුමා ගෙනාවේ ය.

ර්‍ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ණය මුදල පමා නොවී නිදහස් කර දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලීමෙන් ඒ බව ඔප්පු කළ හැකි යයි එතුමා විලි ලජ්ජා නැතිවම කීවේ ය.

ලංකාවේ දේශපාලනඥයෝ තමන් වචනයෙන් කියන දෑ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වනු මා දැක ඇත්තේ ඉතා අල්ප අවස්ථාවන්වල ය. බොහෝවිට ක්‍රියාවෙන් පෙන්වන්නේ එහි ප්‍රතිපක්ෂයයි.

උදාහරණයක් ලෙස මේ රජය මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටියි. මාධ්‍ය කරුවන්ට එල්ල වන හිංසනය හෙලා දකිමින් නිවේදන නිකුත් කරයි. එකක් නොව කීපයක්ම පොලිස් කණ්ඩායම් පත් කරමින් හොයන බව පෙන්වයි. එහෙත් කිසිවක් නොකරයි.

එහෙම කරන අතර තුර අභියෝග කරමින් විරුද්ධ පක්ෂයේ සහය පතන්නේ බැරිවෙලාවත් දුන්නොත් එහෙම පිටින්ම ආණ්ඩුවට ගොඩ ආ හැකි ව්‍යාපෘතියක් සදහා ය.

ඒ එපා යයි පිටමං කළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අව්‍ශ්‍ය නැතැයි කී ණයක් ගැනීම සදහා ද්‍රෝහීන් යයි උදේ හවස අතොරක් නැති බැණ වදින කණ්ඩායමකට කිණ්ඩියක් දමා පුලුවන් නම් ගැලවීමේ මාර්ගයක් ද සොයා ගැනීමට ය.

මේ වැටී ඇති වලෙනේ ගොඩ ඒ නම් ලජ්ජාව ටිකක් දැනුනාට මොක ද? කාපු දේ වමාරා අප්පිරියාවෙන් වුවත් ගිල දැම්මාම මොක ද?

තව ලජ්ජා නැති වැඩ බොහෝ කරන්නට ඉස්සරහට තියෙන නිසා මේවා ඒවාට පෙරහුරු පමණක් බව අපට දැනේ.

ඔහොම යං! ඔහොම යං!

Posted in: Uncategorized