ආචාර්ය මහින්ද රාජපක්ෂ රජ්ජුරුවන් වෙනුවෙන් ද අලූත් කට්අවුට් හා බැනර් ඕනෑ කර තිබේ- එතුමා චිරාත් කාලයක් වැජඹේවා!

Posted on June 2, 2009



සරසවි දුසිමකට අධික සංඛ්‍යාවක් මේ රටේ ඇතත් කොළඹ සරසවිය ඒ හැම සරසවිටම වඩා ඉස්සර විය. තමන් අනිත් සරසවි සියල්ලට වඩා මේ අංශයේ දී වත් කාර්යක්ෂම බව එය මැනවින්ම ඔප්පු කළේ ය.

කිසිදු ලෝස්කමක් නැතිව ආචාර්ය පදවිය රටේ ජනාධිපති තුමාටම පිරිනැමීමට කාටත් පෙර ඉදිරියට පැමිණීමෙන් ඉතිරි සරසවි කෑලිවලට  කම්මුල් පාරක් ද දීමට එය සමත් විය.

දැන් අනිත් සරසවිවලට සිදුවන්නේ පෝළිමේ අවුත් මේ ආරම්භ කළ පුන්‍ය කටයුත්තට තමනුත් එක්වීමට ය. ඒ මොනවා කළත් මුල්ම ආචාර්ය උපාධිය පිරිනැමුවේ කොළඹ සරසවියෙන්ය යන වෙනස්කළ නොහැකි සත්‍යය ඉන් ඉවත්වන්නේ නැත.

නලින් ද සිල්වා රජ කරන කැළණිය සරසවියටවත් මේක කලින් කිරීමට මතක් නොවුනේ ඇයි යන්න දැන් කාගේත් විමසිල්ලට ලක්ව තිබේ.

නලින් ද සිල්වා මහතා අමුඩ ගසා ජාතික ක්‍රමයට ලෑස්තිවන විට කොළඹ සරසවිය හිමින් සීරුවේම යුදෙව් ක්‍රිස්තියානි ක්‍රමයට ඉස්සර විය. දැන් ඉතිහාසය ලියවෙන්නේ නලින් ද සිල්වා අස් කළ කොළඹ සරසවිය ජනාධිපති තුමාට ගෞරව උපාධියක් පිරිනැමූ බව සටහන් කරමිනි. තුන්කල් දක්නා නුවණක් තිබූ නලින්ට තම සරසවිය තුළ මේ ප‍්‍රාතිහාර්ය පාන්නට බැරිවීම සනිටුහන් කරමිනි.

ගෞරව උපාධිය පිරිනැමීම මගින් කොළඹ සරසවිය ජනාධිපතිතුමන්ට අල්ලසක් දී ඇතැයි තමන්ට ඒ දෙය කලින් කර ගැනීමට බැරිවූ ඉරිසියාවට දැන් අනිත් අය කියන්නට ඉඩ තිබේ.

ජනාධිපති තුමාට මෙවැනි ගෞරවයක් උපයා ගන්නට තිබුනේ ජාත්‍යන්තර ආයතනකින් බවත් තමන්ගේ රටේ තමන් යටතේ ඇති ආයතනයකින් නම්බුනාමයක් ලෙස හෝ උපාධියක් ගැනීම තමන්ගේ තත්වයට සුදුසු නොවන බවත් තවත් අය කියන්නට ඉඩ තිබේ. එම අවමානයේ වගකීම කොළඹ සරසවියට බැර කර කොළඹ සරසවිය සමග තිබෙන තමන්ගේ අමනාපකම් පිටකරගන්නට ද සමහරු මෙය භාවිතා කරන්නට පුලූවන.

මේ සියල්ලන්ට එක් පැහැදිලි උත්තරයක් නම් දිය හැකි ය. ආචාර්ය පදවියක් දැරීමට මර්වින්ට හොද නම් මහින්දට නරක ඇයි යන්න ය.

කෙසේවුව ද සියලූ දේශපේ‍්‍රමීන් මේ ඓතිහාසික මොහොතේ (මේ තීරණාත්මක මොහොතේ) කොළඹ සරසවිය හා ජනාධිපති තුමන් සමග එක පෙළට හිටගෙන ඒ සතුරු කුමන්ත‍්‍රණ හා කුඩුකේඩුකම් පරාජය කරන්නට වහා වහා පෙළ ගැසිය යුතු ය.

ආචාර්ය මහින්ද රාජපක්ෂ රජ්ජුරුවන් චිරාත් කාලයක් වැජඹේවා!

මේ අතිශය වැදගත් මොහොතේ කොළඹ සරසවිය හා එක්ව අපිත් කියමු.

දැන් Beyondframe ට බම්බු ගහගන්නට යයි කියා UCSC එකට ගන්නා IT batch එක වැඩි නොකරගෙනම  IT හෝ English වෙනුවෙන් වෙන යමක් නොකරම IT and English වසර කොළඹ සරසවියට සැමරිය හැකි ය.

ඇත්තටම වෙන යමක් නොකළාට තමන් අමතක නොවන්නට මේ වැඬේ සෑහෙන බව කළ අය දනිති. අපට කර ගන්නට බැරිවුන නිසා උන් ගැන ඉරිසියා හිතන එක නම් හරි නැත.

අපට රෑවන විට වාර්ථා වූයේ තමන්ට මේ කල්පනාව කලින් නොපැමිණියේ මන්දැයි සිතමින් සෙසු උපකුලපතිවරුන් හූල්ල හූල්ලා ඉන්නා බව ය. උන්ගේ ඇඹේනියන් කම්මුල්වල අත ගහගෙන සිදුවූ විපත ගැන පශ්චාත්තාප වෙන බව ය.

Posted in: Uncategorized