හිගමන් දීමෙන් හිතට දැනෙන ප්‍රබෝධය හා මේ ගනුදෙනුවට අදාළ අතුරු කාරණා

Posted on May 26, 2009



මම පින් දහමට කැමැත්තෙමි.

වළ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්නා වැඩිහිටි සිංහල බෞද්ධ පිරි‍මියෙකු හැටියට ඊලග ආත්මය වෙනුවෙන් ද මොකක් හරි කර ගත යුතු යයි මට හැගේ.

හිගන්නෙක් පැමිණ ආධාරයක් ඉල්ලන කල මේ නිසාම මට ඇතිවන්නේ අධික ප්‍රීතියකි. පිනක් දහමක් කරගන්නට ඉඩ ලැබීමම ප්‍රීතියක් නොවන්නේ ද?

හිගන්නා වඩාත් බයාදු විදිහට ඉල්ලන්නේ නම් මා වඩාත් කැමති ය. එතකොට මගෙන් සල්ලි බලෙන් ගන්නවා නොව මගේ වුවමනාවෙන් මා දෙනවා මෙන් දැනේ.

මට දැනෙන්නේ මං උඩ ඉදන් මේ පහළ ඉන්න ඒ අහිංසක අසරණයාට උදව් කරනවා වැනි හැගීමකි. මට පුංචි උඩගු කමක් දැනේ. මං ඒ තත්වයට කැමති ය. තවත් මිනිසෙකු සමග පවත්වන සම්බන්ධයේදී එහි උඩින් ඉන්නට ලැබීමම හිතට සුවයකි. සතුටකි.

සල්ලි ලබා ගන්නා හිගන්නා මොනවා හෝ කියන්නේ නම් මා වඩාත් කැමති ය. දැන් ඉන්නා හිගන්නෝ සල්ලි ගත් ගමන් අත්තරඃදාන වෙති. මොනවා හෝ කියනවාට මං කැමති කිවුවත් මා වඩාත්ම කැමති “අපි ඉතින් ජීවත්වෙන්නේ ඔබතුමන් ‍වැනි දාන පතියන්ගෙ කරුණාව නිසා ඔබතුමාලට තව තවත් සැප ලැබෙන්න ඕන” වගේ ඒවා අහන්න ය.

ඇත්තටම හිගන්නන්ට මාකටින් උගන්නන්ට ඇකඩමියක් පවා දාන්නට මට වරක් සිතු‍නේ මේ නිසා ය. හිගන මාෆියාවක් අයිති කාරයෙකුට මෙයින් තම ආදායම පවා වැඩි කර ගත හැකි ය. කොහෙද හිගන්නන්ගෙන්ම යැපෙනව විනා තමන්ගේ සේවකයින්ගේ මානව සම්පත් සංවර්ධනයට මුන් ආයෝජන කරන එකක් යැ? කපටි හැත්ත!

මට තරහ එන්නේ සල්ලි අරගෙන එවැනි හිත සනසන වදනක් වැඩි කරදරයක් නැතිව කියන්න පුලුවන් කම තිබියදී උන් නිකම්ම මාරු වී යාම ගැන ය.

එහෙත් බොහෝ උනන්දුවෙන් කෘතගුණ සළකන හිගන්නෝද සිටිති. එහෙම කෙනෙක් යයි අනුමාන කරන කෙනෙකුට නම් ටිකක් වැඩි මුදලක් වුව දෙන්නට මගේ හිත පෙළඹෙයි.

ඇත්තටම හිගාකන්නන් නැති වුනොත් මා මේ සතුට ගන්නේ කෙසේ ද?

මේ දවස්වල වවුනියාව පැත්තේ ද අසරණ මිනිස්සු සිටිති. ඒ අයට දීම පිණිස ද තෑගිබෝග රැගෙන මම මාධ්‍ය ආයතනවලට ගියෙමි. අඩු ගණනේ ‍‍පොටෝ ගන්නා වැඩ පිළිවෙලක්වත් මේ තැන්වල යොදා නැති එක ගැන මට ඇත්තේ හිතේ තරහකි.

පින්දහම් කරන එක වෙනම දෙයකි. එයින් සුගතියක් අත්වෙන බව ද වෙනම දෙයකි. ඊට අමතර කාරණයක් ලෙස කුඩා ප්‍රසිද්ධියක් ද ලැබෙන්නේ නම් වඩාත් හොද ය. දැන් බලන්න පංසලක ලවුඩ්ස්පීක‍රයෙන් වාගේ අඩුගානේ වටපිටාවට ඇහෙන්නට නම වත් කියවන ක්‍රමයක් හදන්නට බැරි ඇයි?

ඇත්තටම පින් ලබා ගැනීමට හා කුඩා ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අමතරව මට මේ තීරණාත්මක අවස්ථාවේ රජයට ද සහය පළ කරන්නට ඕනෑ ය. එහෙත් අප ගෙන ගිය බඩු නිකම් වැඩි සැරසිලි නැතිව ගත් විට මේ එකක් වත් හරියට කෙරෙන්නේ නැත.

මේ තත්වය යහපත් අතට හරවන්නේ නම් මාසයකට වරක් එන විශ්‍රාම වැටුප් දිනයේ හෝ වැටුප් දිනයේ පුංචි සම්මාදමක් කිරිමට බොහෝ දෙනා පෙළඹෙනු ඇත. දිගටම වවුනියා කදවුරු තිබේ නම් මේ ගැන කල්පනා කර බැලීම වටී.

මේ යන විදිහට මැරෙණකම් පින්දහම් කරගෙන ඉන්නට අපට අවස්ථාව ඇත. එය කොතරම් සැනසීමට කාරණයක් ද? ඒ සම්බන්ධයෙන් අවස්ථාව ලබා දුන් තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ට ද වෙනත් දෙවි දෙවතාවුන්ට ද පින් අනුමෝදන් කිරීමට කැමැත්තෙමි.

ඔබත් වැඩිහිටි නම් සැබෑ පිරි‍මියෙක් නම් සිංහල බෞද්ධ නම් මේ අවස්ථාවෙන් වෙන අයට ද වඩා ප්‍රයෝජන ගත හැකි ය. පිනට දහමට බර අතීතයක් අපට ඇති නිසා ය. ඇත්තටම මේ රටේ හිගන්නන් හා දුප්පතුන් ජීවත් වන්නේ අප වැනි දාන පතියන්ගේ කරුණාව නිසා ය.

අනෙත් අතට අප පින් දහම් කරන්නේ ඔවුන්ට පින්සිදුවන්නට ය. නිකම් හිතා බලන්න හෙට අනිද්දා මුන් ටික නැතිවුවහොත් පිංකැමති අපට කුමක් වේ ද කියා!

හෙටත් අනිද්දාත් අප දෙගොල්ලන්ටම මේ කටයුත්ත කර ගැනීමට ඉඩ ලැබේවායි ශාසනාලයෙන් (වැරදි යෙදුමක් ද දන්නේ නැත මෙහෙම කියා ගෙන කියා ගෙන යන කොට එන වචන තමා ඒ) යුතුව පතමි.

කිසියම් හිගන්නෙකුට මේ සටහන නිසා සිත් රිදීමක් ඇතිවූයේ නම් කලින්ම සමාව භජනය කිරීමට ද කැමැත්තෙම්. වරදක් කළත් කළේ හිතකින් නොවන බව වවුනියාවේ ජනතාවට හා සියලු හිගන්නන්ට කියා සිටීමට ද කැමැත්තෙම්. අප ඒ තරමටම නිහතමානී බැවිනි. උණුවතුරත් අපි නිවලා බොන බැවිනි.

Posted in: Uncategorized