රටට ආදරේ ඇත්තෝ හා නැත්තෝ

Posted on May 22, 2009



රටට ආදරේ ඇති අයත් ආදරේ නැති අයත් වෙන්කර ගන්නේ කෙසේ ද

දැන් ඉදිරියට ඉතිරිවන එකම බෙදුම එය බව කියූ ඇත්තන්ම රටට ආදරේ ඇත්තන් වීමට සුදුසුකම් ලැබෙන්නේ කෙසේ දැයි කීවා නම් වඩා හොදය. දැන් ඉතින් අපට සිදුව ඇත්තේ එවා මේවා විය හැකි යයි අනුමාන කිරීම ය.

  • මේ දිනවල ජාතික කොඩි එල්ලාගෙන තම නිවස වාහනය හා බ්ලොග් අඩවිය සරසන අය රටට ආදරේ ඇති අය ය.
  • ජනාධිපති උතුමන්ගේ රුව සහිත කටවුට් ගසා මුලු රටම සැරසූ අය රටට ආදරේ ඇති අය ය.
  • වාහන වල නැගී ගම දෙවනත් කරමින් පාරවල් බදුගෙන මේ දිනවල එහා මෙහා යන අය රටට ආදරේ ඇත්තෝ ය.
  • කිරිබත් දන්සැල් පවත්වමින් ජනතාවට තණකොල වෙනුවට බත් කන්නට දෙන අය රටට ආදරේ ඇත්තෝ ය.
  • සිංහල ජය ගීත ගයන මාධ්‍යවල ඉන්නා අය රටට ආදරේ ඇත්තෝ ය.
  • බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට ප්‍රහාර එල්ල කරමින් අධිරාජ්‍ය විරෝධි අරගල මෙහෙවූවන් රටට ආදරේ ඇත්තෝය.
  • ජනාධිපති තුමාගේ කතාව මදිවී ආයතන ප්‍රධානීන්ට කුඩා කතාවල් කර නැවත බකප් එකක් දෙන්නට කා‍ර්යාල වලට අණ කළ ඇත්තෝ රටට ආදරේ ඇත්තෝ ය.
  • පාසල් දෙවරක්ම වසා දමමින් ඇර තිබෙන දවස්වල පවා කණක් අහෙන්නට බැරිතරම් දේ ළමා ඔලුවලට පටවන්නට තීරණය කළ ඇත්තෝද ආදරේ ඇත්තෝ ය.
  • රජයට විරුද්ධ බ්ලොග්කරුවන් සොයමින් ඔවුන් අපහසුතාවයට පත්කරන්නට උදේ හවා මහන්සි වන ඇත්තෝ ද රටට ආදරේ ඇත්තෝ ය.
  • ඇත්තටම බැරිනම් සිංදුවෙන් හෝ කතාවෙන් ජනාධිපතිතුමන් සිංහාසනාරූඩ කරවා රජ කරවන්නට තැත් කරන  කලාකරුවන් හා විද්වතුන් රටට ආදරේ ඇත්තෝ ය.
  • මේ වෙලාවේ ජනාධිපතිතුමන්ගේ දෑත් දෙපා ඇගිලි හා නිය ඇතුළු සකලාංග ශක්තිමත් කිරීමට ඉදිරිපත් වී ඇති සියලු දෙනාම රටට ආදරේ ඇත්තෝ ය.
  • අද පාර පුරා පෙළපාලි පවත්වමින් කොළඹ දෙවනත් කරන්නේ රටට ආදරේ ඇත්තෝය
  • මේ කිසිම දෙයකින් රටට දායක වීමට ඔබට තවමත් නොහැකී වී නම් ලග එන මැතිවරණයේදී ජනාධිපතිතුමන්ට ඡන්දය දීමෙන් වැඩ කිරීමෙන් හා ක‍‍ඩේ යාමෙන් ඒ අඩුපාඩු මකා ගත හැකි ය (ඒ ඔත්තුව දුන්නේ ලක්බිම කාටුන් ශිල්පියා ය- උපුටාගත්තේ Thoughts of a Pessimist බ්ලොග් අඩවියෙනි).

රටටත් ඔබටත් සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටයි!

Posted in: Uncategorized