හෙට සිට ඇත්තේ එකම එක බෙදුම් රේඛාවකි

Posted on May 20, 2009



ජයග්‍රාහී ජනාධිපති උතුමන්ගේ කතාවේ ප්‍රබලම පණිවුඩය එතුමන්ගේ කතාව සම්පිණ්ඩනය කළ නිවේදකයා විසින් ඉතාම පැහැදිලිව පෙන්වා දෙන ලද්දේ ය.

අදින් පසු රටේ වෙනත් බෙදුම් නැත. ඇත්තේ එකම බෙදුමකි. ඒ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් අතර ය.

අප දන්නා පරිදි මේ රටේ බේද ගොඩක් තිබේ. යුද්ධය අවසන් වීමෙන් ඒ බේද කිසිවක් අහෝසි නොවේ.

අප රක්ෂිත බන්ධනාගාර ගත කළ විට යන තැනට සරණ ගුණවර්ධන හෝ හෙක්ටර් බෙත්මගේ රක්ෂිත බන්ධනාගාර කළ විට නොයන්නේ ඒ බෙදුමට පින්සිදු වන්නට ය.

හෙට සිට ගොවිගම නොවන අයට සියම් නිකායේ දොර ඇරෙන්නේ නැත. තාත්තලාට නැති අම්මලාට පමණක් සුවිශේෂි වූ තහංචි පාසැලින් ඉවත්වන්නේ නැත. බලය තියෙන එකා නැති එකා පාගා දැමීමට ඇති ඉඩ ඉන් අහෝසිවන්නේ නැත.

මේවා එකක් වත් හෙටින් ඇරඹෙන්නාවූ නිදහස් යුගයේ වෙනස්වන්නට නියමව නැත.

ඒ බව දැන දැනත් ජනපති මේ කියන්නේ අතේ පැලවෙන බොරුවකි.

ඒත් ඒ බොරුව පිටුපස අති භයානක තර්ජනයක් තිබේ.

එක්කෝ ඔබ දේශප්‍රේමියෙකි. එසේ වන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහෝදර සමාගම සමග ඉන්නේ නම් ය. නැත්නම් ඔබ දේශද්‍රෝහියෙකි. ඒ ඊට පුංචි හෝ මදි පුංචි කමක් කරන්නේ නම් ය. විරෝධයක් පළ කරන්නේ නම් ය.

අනාගතයට ඉතිරිවන්නේ ඒ බෙදීම පමණකියි කියන විට අනෙත් බෙදීම් අහෝසි කර ඇති බවක් එයින් කිය‍වෙන්නේ නැත. එයින් කියන්නේ අනිත් බෙදීම් සියල්ල අභිබවන එක් බෙදීමක් ඇති කිරීමට යන බව ය.

එම තීරණාත්මක බෙදීම් රේඛාවෙන් කුමන පැත්තේ ඔබ ඉන්නේ දැයි යන්න අනුව ඔබගේ අනාගතය තීරණය විය හැකි බව ය. ඒ අනුව ඔබට මේ රට අයිති ද නැත් ද යන බව තීරණය වන බව ය. ඔබට ජිවත් විය හැකි ද නැත් ද යන වග තීරණය වන බව ය. ඉතා නිවට වීමෙන් මේ රේඛාව පැන තරණය කළ හැකි බව ය. කරුණා එසේ කළ බව ය. තවත් කරුණලාට ද එසේ කළ හැකි බව ය. එසේ නොකරන අයට ලසන්තට දුන් උත්තමාචාරය ලැබෙන බව ය.

මේ බෙදුම් රේඛාව ගැන අපි කලින් ද බොහෝ දේ කියා ඇත්තෙමු. අප කී දේ පිළිගැනීමට අපහසු වූ අයට ඔටුනු නොපලන් රජුගේ කටහඩින්ම එය අසා දැන ගැනීමට ඊයේ වරම් ලැබෙන්නට ඇත.

චිරං ජයතු!

Posted in: Uncategorized