ඊලග පරම්පරාවටත් පරිප්පු කැවීමේ සූදානමක්

Posted on May 20, 2009



මහනුවර දෙමළ ජාතික ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්න පටන් අරන් කියල සති අන්ත රාවය පත්තරේ තිබුන. ඒ විතරක් නෙවෙයි ජාතික කොඩිත් එල්ලන්න කියල ඒ අයට බල කරල තිබුන.

ඇත්තටම අපේ මිනිස්සුන්ගෙන් මංකොල්ල කන්නෙ නැතිව පිට මිනිස්සුන්ගෙන් මංකොල්ල කෑවට කමක් නැහැ කියල අපට පුංචි මතයක් හදා ගත්තෑකි. ඒ අතරට අපේ කොඩිය බලෙන් උන් ලව්ව එල්ලුවහම මොකද කියලත් හිතන්න පුංචි ඉඩක් තියෙනව.

මරන්නෙ අපේ මිනිස්සු නෙවෙයි නම් තුවාල වෙන්නෙ අපේ මිනිස්සු නෙවෙයි නම් ඒත් ඒ හැටි දෙයක් නැහැ කියන මතයත් එක්කත් ඒවා ඉතා හොදට ගැලපිල යනව.

අනිත් මිනිහව අවමානයට ලක්කරන කෙනෙකුට අභිමානයෙන් ජීවත් වෙන්න ලැබෙන්නෙ නැහැ. අනිත් මිනිහගෙ නිදහසට ගරු නොකරන කෙනෙකුට කවදාවත් නිදහස ලැබෙන්නෙ නැහැ. මේව පින් පව් අනුව සිද්ධ වන දේ නෙවෙයි’ සෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තිබේ ය යන නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව සමාජ ගතිකත්වය විසින් ඇති කරන දේ.

කණ්ඩායමක් හැටියට චූන් එකේ ඉන්න කොට මේවා ගැන හිතන්න අමාරු නිසා චූන් එක ඉවර වුනු දවසක කල්පනා කරන්නවත් මේ ටික ලියනව.

අපි මේ නැවතත් ඉල්ලන් කන්න හදන්නේ වසර ගණනාවක් යුද්ධ කර ජයගත්තේ යයි කියන දේශයේ අනාගතය නැවතත් පරදුවට තබා ගෙන ය.

“යුද්ධයෙන් ජයගත්තේ දෙමලුන් ලවා කොඩි උස්සන්නට තමා ‍යකෝ” කියා කෙනෙකුට කියන්නට පුලුවන. 83 ත් අපේ සමහරු සිතුවේ එහෙම ය. එහෙම හිතීම නිසා වසර 26 ක් තිස්සේ අපි පරිප්පු කෑවෙමු.

කැමති නම් දිගටම එහෙමම හිතන්න. ඊලග පරම්පරා කීපයකට ද පරිප්පු උරුම කර දීමට අපට හැකි වේවි!

Advertisements
Posted in: Uncategorized