ආච්චිගේ මතක පොත හිටිහැටියේ පෙරලුනේ ය

Posted on May 19, 2009



මුන්ට අමු කැවිලා!

තරුණ අවදියේ පාඨශාලාන්තර මහා ක්‍රිකට් තරගයකට සහභාගී වී කොල්ලො කට්ටියත් සමග ගෙදරට ගොඩ වැදී ආච්චීට නක්කලයක් ද දමමින් කෑකෝ ගසන විට ලැබුනු ඒ ප්‍රතිචාරය මට මතක් වූයේ ඊයේ හා අද ත්‍රී රෝද රථවල නැගී රට පුරා ඝෝසා කරමින් එහෙ මෙහෙ දිවූ වැඩිහිටියන් දකින විට ය.

මුන්ට නම් අමු කැවිලා නොව කවලා ය. ආණ්ඩුව මාධ්‍ය ද සමග එකතුව ගුලි අනා රස කතන්දර ද සමගින් හුරතල් කරමින් කවලා ය.

මේ පිස්සුව තවත් තද කිරීමට මහා වැඩ පිළිවෙලක් හෙට අනිද්දා ක්‍රියාත්මක වීමට නියමිත ය. දැනටමත් යුද්දයේ විස්තර මිසක ගුවන් විදුලියක රූපවාහිනියක පත්තරයක වෙනත් දෙයක් නැත. ඔක්කාරය එන තරමට එකම දෙය නැවත නැවතත් කීමේ කටයුත්තේ උන් යෙදී සිටිති.

දෙමල මහත්තුරු වේලාසන නිවාඩු දමා අසනීප යයි කියමින් කන්තෝරුවලින් පිටවූයේ එන පොට හොද නැති බව ඉවෙන් දැනිලා ය. වෙන කිසිම පළාතක නැති ජාතික කොඩිවලින් වැල්ලවත්ත සැරසී ඇත්තේ නිකම් ම නොවේ.

මේ වයින් කරන ලද මිනිස් රූකඩවලට කුඩා නිමිත්තක් සෑහේ. මහා ගිනි ජාලාවක් ඇරඹීමට නිමේශයක් වුව් සෑහේ.

මේවා ආරම්භ කරන අය මේවා පාලනය කරන හැටි ද ගැන හිතුවොත් හොදය.

අපට දැනට කීමට ඇත්තේ එපමණ ය.

(මේ ටික වත් කිවයුතුද යන දෙගිඩියාවෙන් මම සෑහෙන වෙලා කල්පනා කළෙමි.

මිනිස්සු විදින සංතෝසයට බාධා කළ යුතු‍ නොවේ යයි වරෙක මම සිතුවෙමි. එහෙත් ඒ සං‍තෝසය විදින ආකාරය නිසා ඉර පනින මොහොතක් එළඹෙනු ඇතැයි මට බියක් තිබේ.

1983 දී මට හැකියාව තිබුනේ අයියා සමග සිදුවෙමින් තිබෙන දේ වැරදි යයි රණ්ඩු කිරීමට පමණකි. එතකොට මම පුංචි කොල්ලෙක්මි. දැනුම් තේරුම් ඇති යමක් කරන්න පුලුවන් මිනිසුන් කිසිවක් නොකර නිකම් සිටීම ගැන මට එදා තිබුනේ ද කලකිරීමකි.

මට අද සිතෙන්නේ තමන්ට දැනෙන දෙය දැන දැනත් මිනිසුන් එය අනුමත නොකරාවිය යන බියෙන් එය සගවා ගෙන මා නොසිටිය යුතු බව ය. දැනෙන දේ පැත්තක් ගියත් කිව යුතු බව ය. මේ ජය පැන් බොන ආකාරය එතරම් ප්‍රසන්න නැති නිසා ය. සමහර විට එය අහිංසක සන්තෝසයකින් එහාට වුව හිටි අඩියේ ගමන් කරන්නට පුලුවන් නිසා ය.

සියලු ජයපැන් සාජ්ජ මධ්‍යයේ උඩු ගං බලා පීනන්නට සිතුවේ එහෙයිනි.)

Posted in: Uncategorized