සන්ලයිට් වෙනුවට සන්නයිට් හා Beyond Frame වෙනුවට beyondframe

Posted on May 16, 2009



වෙළද පොළේ ජනප්‍රියව ඇති තම තරගකරුවෙකුගේ යම් භාණ්ඩයක් දැක ආයාසයකින් තොරව එහි වාසිය ලබා ගත හැකි මගක් ගැන සිතන ව්‍යාපාරිකයෙක් තමන්ගේ බාල භාණ්ඩයක්ඒ නමට ආසන්න නමක් යොදා (අර ජනප්‍රියතාවය මංකොල්ල කනු අටියෙන්) වෙළද පොළට ඉදිරිපත් කරනු අප දැක ඇත.

එක් කලෙක සන්ලයිට් වෙනුවට සන්නයිට්  වෙළදපොළට පැමිණියේ ඒ අනුව ය.

මෙයින් ව්‍යාකූලත්වයට පත්වන පාරිභෝගිකයෝ තමන් මේ මිලදී ගන්නේ තමන්ට හුරුපුරුදු භාණ්ඩයමැයි සිතා එය මිලයට ගනිති. තමන් අසුවී බව දැන ගන්නාවිට මිල ගෙවා ගනුදෙනුව කර අවසන් ය.

මෙසේ අනුන්ගේ වෙහෙස ප්‍රයෝජනයට ගෙන තවත් පාර්ශවයක් ද රවටා ලාභයක් ලැබීම වෙළද පොළට පමණක් සීමාවී නැත.

එය සයිබර් අවකාශයට ද දැන් පැමින තිබේ.

වෙන url එකක් යොදා ගනිමින් යන beyondframe නමින්ම බ්ලොග් අඩවියක් ආරම්භ කර එය පවත්වාගෙන යන අයද කරන්නේ අනුන්ගේ වෙහෙසින් ඵල ප්‍රයෝජන ගැනීමත් පාඨකයා රැවටීමත් ය. එපමණක් නොවේ තමන් කොතරම් බාලදැයි ලෝකයට කියා සිටීමත් ය.

අපට තර්ජනය කර, අප නමින් වෙනත් බ්ලොග් අඩවිවල කුණුහරුප ලියා, අපට අවමන් කර, මැඩ පවත්වන්නට නොහැකි වූ කල අපගේ කීර්ති නාමය මංකොල්ල කන්නට මේ අය කරන කටයුතු වලින් පෙනී යන්නේ ඔවුන් පෙනී සිටින කදවුරේ හිස්බව මිසක වෙන කිසිවක් නොවේ.

අප මෙතෙක් මේ පිළිබද මැසිවිලි නොනැගුවත් සිංහල බ්ලොග් කියවනයේ දොර මේ වංචනිකයාට ද විවර කර ඇති බව දුටු නිසා මේ ගැන අපේ අදහස ලියා දක්වන්නට සිතුවෙමු.

මෙසේ පාඨකයා ව්‍යාකූලත්වයට පත්කිරීමට ඔහුට අවකාශ ලබා දීම පිළිබදව සිංහල බ්ලොග් සංසදයේ පරිපාලකයින් සමග ද ගැටලුවක් අපට ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අපි අපේක්ෂා නොකරමු. හේතු කීපයක් නිසා ය.

පළමුවැන්න අප ඉවත්කරන ලෙස ඉල්ලිම් හා තර්ජන තිබියදී අපගේ බ්ලොග් අඩවිය ඔවුන් විසින් ඉවසීම සම්බන්ධයෙන් ඔවුන් වෙත ඇති අපේ ගෞරවය ය.

දෙවැන්න අපේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට ඇති තාක්ෂණික හේතු ය.

තෙවැන්න අප සැම අපගේ හැසිරීමෙන් පෙන්වන්නේ අපේ බැරි පුලුවන් කම වීම ය. ඒ ගැන කාටවත් දොස් කීමෙන්, විශේෂයෙන් මේ යුගයේ දොස් කීමෙන්, වැඩක් නැති නිසා ය.

මැස්සකු මැරීම සදහා කඩුවෙන් තම රජුට කෙටූ රජවාසල අමනයා මේ බ්ලොග්කරුවා දැකීමේදී අපගේ මතකයට එනු වළක්වන්නට බැරි ය.

අපට කියන්නට ඇත්තේ මේ පුද්ගලයාටත් ඔහු කඩේ යන රජවාසල කවටයින්ටවත් ජනතාව මෙසේ ටික කලක් රැවටුව ද වැඩිකලක් රවටන්නට ලැබෙන්නේ නැති බව ය.

මේ නිසා මේ ව්‍යාකූලත්වය ඉවසීමේ හා එය තේරුම්ගැනීමේ වගකීම අපි අපේ පාඨකයින්ට පවරා නිහඩ වීමට බලාපොරොත්තු වෙමු.

Posted in: Uncategorized