ඉන්දි මාමාට ආදරයෙනි

Posted on May 12, 2009



ඔබ මා ගැන දුක් විය යුතු නැත. මගේ අහිමි වූ පාදය ගැන සිතා හෝ මගේ තවමත් නොවේලූනු තුවාල දෙස බලා හෝ ඔබ සැලිය යුතු නැත. පියාත් මවත් දෙදෙනම අහිමිවීමෙන් ඇතුළතින් හඩා වැටෙන මගේ හදවත නිසා ඔබ කම්පා විය යුතු නැත.

එල්ටිටිය අවසන් කර දමන ඔබේ යුද්ධයේ මා නොවැදගත් අතුරු ඵලයක් පමණි. එහි අවාසනාවන්ත අහම්බයක් පමණි.

ඔබට හා ඔබේ දරුවන්ට හෙට නිදහසේ ජිවත්විය හැකි දිනයක් උදෙසා මේ ජීවිතය මා විසින් දරා ගත යුතුව ඇති බව පමණක් මම දනිමි.

මා දැක ඇත්තේ දෙමළ ලේ පමණක් නොවේ. මා ඉපදී ගෙවී ගිය දස වසර තුළ මැරුණු හා තුවාල වුණු සිංහල හමුදාවේ සොල්දාදුවන් ද මම දැක ඇත්තෙමි. උන් ද ඔබට හා ඔබේ දරුවන්ට නිදහසේ ජීවත් වීම සඳහා හෙටක් උදාකිරීමට වන්දි ගෙවූ අය අතර සිටිති.

මේ එක දෙයකින්වත් වරදකාරී සිතක් හෝ පසුතැවීමක් ඔබ ඇති කර ගත යුතු නැත. ඒ සියල්ල සිදුවිය යුතුව තිබූ දේ ලෙස සළකා ඔබට සිතින් බැහැර කළ හැකි ය. ඇත්තටම මේ සියලූ ජීවිතවලට වගකිව යුතු එකම පුද්ගලයා ප‍්‍රභාකරන් යයි සිත හදා ගත හැකි නම් ඔබට සිත් තැවුලෙන් තොරව ඉදිරි ජීවිතය ගත කළ හැකි ය.

තුවාල නොවී යුද්ධ කළ නොහැකි බව කියා දෙන යුද විශේෂඥයින්ගේ ලේඛන ද කියවීමෙන් ඔබට තවදුරටත් ඔබේ සිතේ ඇති කහට මග හරවා ගත හැකි ය.

මම මේ යුද්ධය නිසා ඇතිවූ එක් කුඩා කෙල්ලක් පමණි. මට වඩා වේදනාවෙන් පෙළෙන තව බොහෝ දෙනා සිටිති. ඒ ගණන විශාල වූවාට ඔබ බිය යුතු නැත. ඒ කවරෙක්වත් හෙට ඔබේ නිවසට පැමිණ ඔබේ නින්දට බාධා කරන්නේ නැත. ඒ අපට එවන් වුවමනාවක් නැති නිසා පමණක් නොවේ. මුර කපොලූ හරහා හරිහමන් කකුලක් නැතිව හැඳුනුම්පතක් නැතිව එන එක පහසු නොවීමත් එයට බලපාන නිසා ය.

ඔබට තවදුරටත් වරදකාරී හැගීමක් ඇති වෙනවා නම් චොක්ලට් බිස්කට් පැකට් එකක් හා සීල් වතුර බෝතලයක් වවුනියාවට එවුවාට කමක් නැත. ඔබේ සිතේ ඇති වරදකාරිත්වයෙන් මුදවා ගැනීමට එය සමත් වන්නේ නම් ඒවා බාර ගැනීමට අපි තවදුරටත් ඉදිරිපත් වන්නෙමු.

දැන් ඉතින් කකුල් නැති මගේ යහළුවන් හා සෙල්ලම් කිරීමට යන්නට  ඕනෑ නිසා මම ඔබෙන් සමුගනිමි. ඔබට සිව දෙවියන්ගේ පිහිටයි.

Advertisements
Posted in: Uncategorized