ලෝකයට බැණ අඩ ගසන විට විසිල් ගහන ගැලරියක්!

Posted on May 11, 2009



අප ජීවත්වන්නේ එකිනෙකා මත අප හැමගේ පැවැත්ම රඳා පවතින ලෝක සන්දර්භයක් තුළ ය. එවැනි වටාපිටාවක අපට කවරෙක්වත් අවශ්‍ය නැතැයි සිංහ නාද පැවැත්වීම මෝඩ කමක් වන්නට ඇති ඉඩ වැඩි ය.

එවැනි වගාඩම්බර පසු කලෙක දිරවා ගත නොහැකි වන්නට ඉඩ තිබේ. ඒ නිසාම වමාරන්නට පවා සිදු වීමේ ඉඩකඩ ද තිබේ.

මෙයින් අදහස් කරන්නේ ලෝකය කියන ආකාරයට නටන්නට අවශ්‍ය බව නොවේ. ඔවුන් සමග ගනුදෙනු සුහදශීලීව හා අන්‍යයෝන ගෞරවයට හානියක් නොවන පරිදි පවත්වාගෙන යා යුතු බව ය.

ලෝකයට එකක් කියා තව එකක් කරන්නට තවදුරටත් අපට නොහැකි බව ය. අපේම ජනතාවගෙන් බොහෝ දේ හංගා ගෙන සිටින්නට අපට පුලූවන් වුනාට ලෝකයාගෙන් එසේ හංගන්නට බැරි බව ය. මේ ලෝකයේ වාරණ තවදුරටත් ශක්තිමත් නොවන බව ය. කල් පසුව හෝ ඇත්ත එලිදරව් වීම වළක්වන්නට බැරි බව ය.

ලෝකයේ බොහෝ රටවල් ලෝකයේ සෙසු තැන්වල සිදුවන දෑ පිළිබඳව විමසිල්ලෙන් පසුවන තරමට අද ලෝකය ගම්මානයක් වී ඇති බව ය. උදාහරණයක් ලෙස සමහර රටවල භාණ්ඩ මිලදී ගැනීම දේශපාලන හේතුමත නොකරන තරමට සංවේදී වු ජාතීහු ලෝකයේ දැන් වෙසෙති.

මේ නිසා ම අප විසින් අප ගැන ලෝකයේ ඇති කරන ප‍්‍රතිරූපය ඉතාමත් දැඩිව අපගේ වැඩ කටයුතුවලට පමණක් නොව ශ‍්‍රී ලාංකික සෑම නිශ්පාදනයකටම හා සේවාවකටම බල පාන්නට පුලූවන් බව ය.

ලෝකය යනු ඉන්දියාව හා බටහිර නොවන බවත් ලිබියාව ඉරානය රුසියාව හා චීනය ද ලෝකයට අයිති බවත් කියමින් සමහරුන් අප වෙත කඩා පනින්නට පුලූවන. මේ එක ද රටක්වත් අපට පොලියට ණය දුන්නාට ආරක්ෂක මණ්ඩලයේ චන්දය දුන්නාට ලොකුවට අපේ ආර්ථිකය හා බැඳී නැත. ඔවුන් දී ඇති ණයවල පොලිය පවා සෙසු ආයතනවලින් අප ලද ණය සඳහා ගෙවන්නට ඇති පොලිය හා සැසඳීමේදී සහනදායී ඒවා නොවේ.

මා මේ සියල්ල ලීවේ වෙසක් සති අන්තයේ මිනිසුන් දහසකට පමණ මරු කැඳවමින් තවත් විශාල ගණනකට තුවාල සිදුකරමින් යුද මුක්ත කලාපයට හමුදාව විසින් එල්ල කළේ යයි කියන ෂෙල් ප‍්‍රහාරය හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක් yahoo news වල දැකීම නිසා උපන් සංවේගයෙනි.

http://news.yahoo.com/s/ap/20090511/ap_on_re_as/as_sri_lanka_civil_war

සංවේගය පළමුව ඒ ප‍්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් හා තුවාල ලත් මිනිසුන් ගැන ය. දෙවනුව මේ නිසා ලංකාවේ කීර්ති නාමයටත් අපගේ නිශ්පාදනවලටත් සිදුවන කැළල සම්බන්ධයෙනි. ඒ නිසා ම දකුණේ අපට අත් විඳින්නට නියමව තියෙන අනාගතය සම්බන්ධයෙනි.

“අපට නැති රුදාවක් උන්ට මොකටදැ”යි අසමින් ලෝකයට බැණ අඩ ගසන විට විසිල් ගහන ගැලරියක් සාදා ගැනීම අමාරු කාරියක් නොවේ. එහෙත් එයින් රටට වන වාසියක් නැත. සරම උස්සාගෙන කෑගහන විට එලියට පනින්නේ කෑගසන එකාගේ නිරුවත පමණකි.

Posted in: Uncategorized