ආණ්ඩුවටත් වඩා දේශපේ‍්‍රමී වීමට හදන එක්සත් ජාතික පක්ෂය

Posted on May 5, 2009



ගොවිගම කුලයට අයත් නොවන, ඒ නිසා වත්මන් ශ‍්‍රිලංකාවේ සැබෑ උරුමක්කාරයෙක් නොවූ, මාක්ස්වාදී විමල් වීරවංශට සරත් අමුණුගමටත් වඩා සිංහල බෞද්ධයෙකු වීමට සිදුව ඇති ශෝචනීය තත්වය හා ඒ නිසා තමන්ගේ කුලයේ එකකු මහණ නොකරගන්නා නිකායක මහානායක හාමුදුරුවන් ඉදිරියේ (කුලයේ එකකු මහණ නොකරගන්නා හේතු විමසීමෙන් තොරව) දනින් වැටීමට සිදුවීමේ අභාග්‍ය ගැන අපි ලීවෙමු.

එසේම කරුණා අම්මාන් නම් සිංහල නොවන, ඒ නිසා වත්මන් ශී‍්‍ර ලංකාවේ සැබෑ උරුමක්කාරයෙක් නොවන, දෙමළ නායකයාට ඩිලාන් පෙරේරාට ද වඩා සිංහල වීමටත් නැගෙනහිරට පොලිස් හෝ ඉඩම් බලතල අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ ජනාධිපති තුමන්ගේ කරුණාව බවත් කීමට සිදුවීමේ අභාග්‍ය ගැන ද අපි ලීවෙමු.

දැන් ලියන්නට යන්නේ දේශපේ‍්‍රමී යුද්ධයේ පාර්ශව කරුවෙක් නොවූ, ඒ නිසා වත්මන් ශ‍්‍රිලංකාවේ සැබෑ උරුමක්කාරයෙක් නොවන, තමන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියූ, එජාපයේ රංග බණ්ඩාරට තමන් ආණ්ඩුවටත් වඩා සිංහල බව කියන්නට සිදුවීමේ කතාවය.

එතුමා ආණ්ඩුවෙන් අසන්නේ බර අවි ප‍්‍රහාර නවත්වනවා යයි කියන්නේ යුද්ධය නතර කළ බව නේදැයි කියා ය. ව්‍යාංගයෙන් කියන්නේ බර අවි ප‍්‍රහාර නතර කිරීමෙන් ආණ්ඩුව දේශද්‍රෝහී වී ඇති බව ය.

සියලූ ජාතීන් වෙනුවෙන් පෙනී සිටින බවට තිබූ අනන්‍යතාවය රැක ගැනීමට ඉදිරියේදී එජාය මීට ද වඩා අසමත් වන්නේ ය. මේ යුගයේ පැවැත්මක් ඇත්තේ රේඛාවෙන් හරි පැත්තේ සිටින්නේ නම් ය.

ඒ පැත්තේ ඉන්නේ සිංහල, බෞද්ධ, දේශපේ‍්‍රමී, ගොවිගම, ආණ්ඩුව කරන, ආර්ථික වශයෙන් හයියක් ඇති, වැඩිහිටි, පිරිමි ය. සියලූ වරප‍්‍රසාද ඇත්තේ ඒ පැත්තේ ය. වැට පැන එජාප පාක්ෂිකයින් ආවේ ඒනිසා ය. කලක සිට පනිම්දෝ නොපනිම්දෝ යන දෙගිඩියාවෙන් සමස්ථ එජායම පෙළෙනු දකින්නට තිබිණි. එහෙත් රංග බණ්ඩාරගේ මේ අවසන් කතාවෙන් පෙනෙන්නේ මුලූමනින්ම ඉර පැනීමට එජාපය හිත හදාගෙන ඇති බව ය.

එසේ පැන්න දාට ඔවුන් ආණ්ඩුවට ද වඩා දේශපේ‍්‍රමී වනු ඇත. එජාපයෙන් පැන්න අය පැරණි ශ‍්‍රී ලංකා කාරයින්ටත් වඩා දේශපේ‍්‍රමී බව ඔවුන් විසින් ඔප්පු කර ඇත.

එහෙත් ආණ්ඩුවෙන් පිට සිට දේශපේ‍්‍රමී වන්නට යාම සිය දිවි නසා ගැනීමකට සමාන ය. මක්නිසාද යත් යුද ජයග‍්‍රහණයන් ලබා දී ඇති ආණ්ඩුවක් සමග දේශපේ‍්‍රමී වීමෙන් අලගු තබන්නටවත් එවන් මෑත අතීතයක් නැති එජාපයට බැරි නිසා ය. සිදුවිය හැකි එකම දෙය නම් දැන් තිබෙන ඡුන්ද පදනමත් දෙදරවා ගැනීම ය. අනාගතයේ යුදව්‍යාපෘතිය අසාර්ථක වීමත් සමග අර්බුදයකට යන ආණ්ඩුව සමග එය ද අර්බුදයකට යාම ය.

මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී යන ඛේදවාචකයට එජාපය මුහුණ දෙමින් සිටී.

බලය ලබා ගැනීමට අසහනයෙන් බලා සිටින දේශපාලකයින් විසින් එජාපයේ ඛේදවාචකය ඉක්මන් කරමින් තිබේ.

Advertisements
Posted in: Uncategorized