ජාත්‍යන්තර පුහුණු ආයතනයක් (සුද්දන්ට උගන්නන්න ස්කෝලයක්) ශ‍්‍රී ලංකාවේ ස්ථාප්තිත කිරීමට මේ සුදුසුම කාලයයි

Posted on May 4, 2009



අපේ රටේ මිනිසුන්ගෙන් වැඩි කාලයක් ගත වන්නේ වෙන රටවල රාජ්‍ය නායකයින්ට ,ජගත් සංවිධානවලට, විදේශ මාධ්‍යයන්ට හා රාජ්‍ය නොවන සංවිධානවලට වැඩ කළ යුත්තේ කෙසේ දැයි උගන්වන්නට ය,

ශ‍්‍රී ලාංකිකයින් විසින් මේ දෙනු ලබන පුහුණුවට ඉතා අධික ඉල්ලූමක් අනාගතයේ දී ඇතිවිය හැකි බැවින් රාජ්‍ය පාලනය හා මාධ්‍ය භාවිතය පිළිබඳ කඩිනම් පාඨමාලා දෙකක් සකස් කර ඉක්මණින් ජාත්‍යන්තරයට විකිණිය යුතු බව මගේ අදහස ය. නිකම්ම පුහුණු කළවිට එහි අගයක් නැත. අනෙත් අතට කීයක් හරි අය කර පුහුණුවක් දෙන්නට හැකි අවස්ථාවක නිකම් කියා දීමේ තේරුමක් ද නැත.

එක ද සිවිල් වැසියෙකුටවත් තුට්ටුවක හානියක් නොවන සේ යුද්ධ කරන්නේ කෙසේදැයි උගන්වන මිලිටරි ඇකඩමියකුත් ඒ සමග ආරම්භ කළ හැකි ය.

ජාත්‍යන්තර රාජ්‍ය නායකයින්ගේ පුද්ගලික අවධානයට පවා ලක්ව ඇති ශී‍්‍ර ලංකාවේ මෙතෙක් නිපදවා ඇති ශ්‍රේෂ්ඨම නිශ්පාදනය ලෙස අප අතර නමක් දිනාගෙන ඇති මහින්ද චින්තනය ද මෙහි පාඨමාලාවක් ලෙස උගැන්විය හැකි ය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳව අපේ රාජ්‍ය තාන්ත‍්‍රිකයින් මෙහෙයවන පාඨමාලාවකට පවා අධික ඉල්ලූමක් ඇති විය හැකි බව අපේ මතයයි.

මේ ජාත්‍යන්තර පුහුණු ආයතනයට අවශ්‍ය සම්පත්වලින් අඩුවක් නැතත් සැළසුම් කරුවන්ගේ පහසුව සඳහා නම් කීපයක් යෝජනා කිරීමට කැමැත්තෙමි.

මුලින්ම අගමැති තුමා ය. දැන් දැන් එතුමා පරදවමින් සාර්ථක සම්පත් දායකයෙකු ලෙස ඉදිරියට එන්නේ ජනාධිපති තුමා ය. විමල් වීරවංශ මේ අධ්‍යයන කේන්ද්‍රය ශක්තිමත් කළ හැකි තවත් යෝධයෙකි. මහින්ද චින්තනය ගැන පාඨමාලාවක් ද සඳහන් කළ කල චම්පික රණවක මහතාගේ නම මතක් නොකළොත් එය ගුණමකු කමක් වෙයි.

රූපවාහිනිය, ස්වාධින රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, දෙරණ, දිවයින, දිනමිණ, සිළුමිණ වැනි මාධ්‍යවලට සම්බන්ධ අයට දේශන සටහන් සකස් කිරීමෙන් දායක විය හැකි ය. විශ්වවිද්‍යාල කීපයක දිලිසෙන මොළ කිහිපයක් ද මෙහිදී උදව් කර ගත හැකි ය. නලින් ද සිල්වා මහතා එහිදි ඉදිරියට එන්නේ පවනට බඳු වේගයකිනි.

අපගේ බ්ලොග් අඩවියට පිවිසෙන සමහරුගෙන් ද සම්පත් දායකයින් තේරිය හැකි වෙතැයි අප කියන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

මේ පුහුණු ආයතනය සාර්ථක කරගැනීම සඳහා ඔබට යම් දායකත්වයක් අමතර පාඨමාලා යෝජනා කිරිමෙන් හෝ සම්පත් දායකයින් යෝජනා කිරීමෙන් ලබා දිය හැකි නම් අපි එය අගය කොට සළකමු.

මේ දවස්වල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා අපට ගණන් උස්සමින් දෙන්නට හදන දුර්ලභ විදේශ විනිමය ටිකක් රටට හොයා දීමට ද එයින් ඔබට පුලූවන.

Posted in: Uncategorized