Beyondframe ගේ අතීත කතාව

Posted on April 29, 2009



“උඹ සිංහලයෙක් ද?”

“දැන්වත් වෙන උන්ට කඬේ යන එක නවත්වපන්!”

මේ අවසානයට පළ වූ මගේ බ්ලොග් සටහනට මා ලද ප‍්‍රතිචාර ය.

මගේ තර්කයන්ට කිසිදු උත්තරයක් නොදී මේ අසන ප‍්‍රශ්නයන්ගේ තේරුම මට පසක් කර වූයේ මගේම මිතුරෙකි.

මචං උඹේ තර්ක හරි වෙන්න පුලූවන්. උඹ කියන කතාව ඇත්ත වෙන්න පුලූවන්. ඒත් ඒකෙන් වාසියක් වෙන්නෙ උන්ට. අපේ විරුද්ධවාදීන්ට. ඒ නිසා උඹ ඔය ලියන ඒවායෙ හරි වැරැද්ද මොකක් වුනත් ඒ වැඬේ වැරදි යි.

මා සිංහලයෙක් දැයි අසන, මා උන්ට කඬේ යන්නේ මන්දැයි අසන, මගේ සහෘද පාඨකයින්ට ද ඇත්තේද මගේ මිතුරාගේ ප‍්‍රශ්නයම ය.

ඒ ප‍්‍රශ්නය මා අතීතයට ගෙන ගියේ ය.

කුඩා කල අන් කොල්ලන් හා දබර කර ගත් විට බොහෝවිට බැණුම් ඇසීමට හා දඩුවම් ලැබීමට ලක් වූයේ අපව ය. එයට හේතුව වූයේ අන් කොල්ලන්ගේ අම්මලා උන් වැරදි විට ද උන්ගේ බේරිල්ල වෙනුවෙන් උන්ගේ වැරදි හංගමින් කටයුතු කරද්දී අපගේ වැරැද්දක් හංගාගන්නට පුලූවන් කල පවා එය එලියට ගෙන අපට ඒ සම්බන්ධයෙන් සමාව ගන්නට සැලැස්වූ අපේ අම්මා නිසා ය.

අපේ අම්මාගේ ක‍්‍රියාකලාපය බොහෝ අම්මලාට තේරුම් ගත නොහැකි වූ නමුත් පුංචි එවුන්ගේ ආරවුල් පුංචි එවුන්ගෙන් ඔබ්බට නොගියේ ඇයගේ දුර දක්නා නුවණ නිසාය යනු ආපස්සට ඒ අතීතය විමසන විට මට ඇතිවන හැගීම ය.

එසේවුවද එදවස මේ ගැන උරණ වී අප අම්මා සමග වාදයක් පවා ඇති කරගත් සැටි ද මට තවමත් මතක ය.

ඇය සන්සුන්ව මට කීවේ පුතේ උඹලගෙ වැරදි හදාගත්තොත් කවද හරි ඒකෙ වාසිය උඹලට. ඒ අම්මල ගොන්නුවගේ උන්ගෙ දරුවන්ගෙ වැරදි හංගන නිසා උන් කවදාවත් හරි වැරැද්ද ඉගෙන ගන්නෙ නෑ. ඇත්තටම මට උන් ගැන අනුකම්පා හිතෙනව. ඒත් කරන්න දෙයක් නැහැ. ඒක උන්ගෙ කරුමෙ. උඹල හොඳට හැදියල්ල. මට කරන්න පුලූවන් එච්චරයි. කවුද දන්නෙ උඹල හොඳ වුනොත් උනුත් හොඳ වෙයි. අත් දෙකකින් මිසක් එක අතකින් අප්පුඩි ගහන්න බැහැ.

මා ලද ඒ ශික්ෂණය අදද මගේ හැසිරීම තීරණය කරන්නේ යයි මම සිතමි.

ඔබ මා මිතුරෙකු හැටියට සළකන්නේ ඔබගේ සියලූ වැරදිවලට මා උල්පන්දම් දී ඒවාට උඩ ගෙඩි දෙන්නේ නම් මට ඒ ගැන කළ හැකි දෙයක් නැත. මක් නිසා ද යත් මා ඊට සූදානම් නැති බැවිනි. ඔබ මගේ මිතුරෙකු නම් ඔබේ වැරදි පෙන්වා දීමට මම නොපැකිළෙමි. ඒ ගැන ඔබ අකමැත්තේ නම් ඒ ගැන ද මට කළ හැකි දෙයක් නැත.

මගේ වැරදි පෙන්වා නොදෙන ඒවා වසන් කරන මා කරන කියන හැම දෙයක්ම අනුමත කරන මිතුරන් මම මිතුරන් ලෙස සැළකීමට පෙර දෙවරක් සිතමි.

ඊට ප‍්‍රතිපක්ෂව මම මගේ විවේචකයින්ට ආදරය කරමි. උන්ට මා කැමැත්තේ උන් නිසා මා ඉගෙන ගන්නා බැවිනි.

ඵීවේචකයින් වන්නේ පරුෂ වචනයෙන් මට බැණ වදින්නන් නම් නොවේ. උන්ගෙන් ඉගෙන ගත හැක්කේ පරුෂ වචන පමණකි. මා කැමති මගේ තර්ක බිඳින්නන්ට ය. මුවහත් ආයධ අතැති අයට ය. එහෙත් අවාසනාවකට වැඩියෙන් ඇත්තේ මුලින් කී තිත්ත කුණුහරුපයෙන් බැණ වදින මොට්ට ආයුධ භාවිතා කරන අමන රැලකි. උන්ගෙන් උන්ටවත් රටටවත් මටවත් වැඩක් නැත.

Posted in: Uncategorized