මේ විමසීමේ වේලාව නොවේ – රස විඳීමේ හෝරාවයි

Posted on April 24, 2009



ඇත්තටම අප මේ පසු වන්නේ ලොව කෙනෙකුට සිටිය හැකි ඉහළම තැන යයි ශ‍්‍රී ලාංකිකයෙකු කල්පනා කරන්නේ නම් ඒ ගැන පුදුම විය යුතු නැත.

ඇත්තටම අප මේ පානය කරමින් සිටින්නේ අමෘතය දැයි අපට සැක සිතේ. බොනවාත් සමගම දැනෙන දෙයින් මුලූ ඇගම රත්ව නැගිට එයි. එයින් ඇගට දැනෙන මත මනස පවා පුබුදු කරයි.

ඇත්තමට මේ වළඳන මාංශය සැබෑවට රසවත් ය. කොතෙක් ද යත් එහි සුවඳ සියලූ රස නහරයන්ට පාවඩ එලා ආරාධනය කර සිටී. එහි ඇති කුණු රසින් රස නහර සියල්ල පිනා යයි.

ඇත්තටම මේ අගන කොතරම් සුන්දර ද යත් ඇගේ පහස කොතරම් මුදු ද යත් ඇය විසින් අනුබල දෙනු ලැබ මේ එළැඹ ඇති සුරාන්තය අතිශයින් රසවත් ය.

ඇත්තටම අද මේ බොන්නාවූ කසිප්පු නිසා හෙට ආරෝග්‍යශාලාවේ ලැග දවස පුරා වමනය කරන්නට සිදුවෙනු බවත් දිවිගලවා ගැනීමට සටන් කිරීමට සිදුවන බවත් වළඳමින් සිටින්නේ හෙට වැසිකිළියේ දවස පුරා ලගින්නට සිදුවන වමනය දමා කෙළවරක් කළ නොහැකි මාංශයක් බවත්  අප මේ විඳින්නේ කෝටියක් වසංගත රෝගයන්ගෙන් පෙළෙන වෙසගනකගේ පහස බවත් මුලූ ජීවිතයම ඒ නිසා කාලකන්නි විය හැකි බවත් අපට නොදැනේ. ඒ ගැන සොයන්නට වුවමනාවක් ද අපට නැත. ඒ ගැන දැනගන්නට පවා කැමැත්තක් ද මේ මොහොතේ අපට නැත.

ඇත්තටම කසිප්පු බී රසමසවුළු වළඳමින් සුකොමල ස්ත‍්‍රියක හා එක්ව සුරාන්තයකට යෑම බොහෝ නරයින්ගේ ආසාවකි. එහෙත් බොන්නේ විස සහිත කසිප්පු බවත් කන්නේ අපතවන මාංශයක් බවත් සුරාන්තය සොයන්නේ අටුඅනූවක් රෝග ඇති වෙසගනකගෙන් බවත් මතක් කරන්නට ඉදිරිපත් වන කෙනෙකු සතුරකු ලෙස පන්නා දැමීමට අප පෙළඹීම එවන් මොහොතක අතිශයින් ස්වභාවික ය. මක්නිසා ද යත් මේ විඳීම එපමණටම සැප දායක නිසා ය.

එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ එවැනි මතක් කිරීමක් කිරීමට ඉදිරිපත් වන මිතුරෙකු පවා කුණු හරුපයකින් සංග‍්‍රහ කර එලවා දැමීම ය.

අවට ලෝකය අපට මේ මොහොතේ පවතින බවක් නොදැනේ. දැනෙන්නේ එකම දෙයකි. කසිප්පු වල මිහිර ය. වළඳන මසේ රස ය. සුරාන්තයේ සතුට ය.

මේ සතුට අවසානයේ ඉතිරිවන්නේ කුමක් ද යන ප‍්‍රශ්නයට උත්තර සෙවීමට මේ අවස්ථාව නොවේ. මේ විමසීමේ වේලාව නොවේ. උපරිමය විඳීමේ හෝරාවයි.

අපට ඇත්තේ සානුකම්පාවෙන් ද කම්පාවෙන් ද මේ විගඩම නැරඹීමත් අපත්තියක් නොවේවා යි පැතීමත් පමණකි.

Posted in: Uncategorized