අපේ නැගණියට වූ හදිය

Posted on April 22, 2009



මගේ ඥති සොහොයුරියකට අනුරාධපුරය පැත්තෙන් දීගයක් කතා කර තිබිණි. මටත් ගෙවල් දොරවල් බැලීමට යාමට අවස්ථාවක් ලැබුණු නිසා එහි ගියෙමි. ඒ පවුල ඒ පැත්තේ හයිකාරයෝ ය. තමන් ඉහළ පෙළපතකින් පැවත එන නම්බුකාර මිනිස්සු බව කියන්නට යෝජිත මනමාලයාගේ පියා පසු බෑවේ නැත. අපත් එසේ බව මේ පැත්තෙන් ගිය නෑයෙක්ද ප‍්‍රතිඋත්තර දුන්නේ එසේ නොකර කර හැරිම හරි නැති නිසා විය යුතු ය.(ඇත්තටම අපේ පෙළපතේ ඒ පැටිකිරිය මා නම් දැන සිටියේ නැත)

කෙසේ වුව ද මගුල තීන්දු විය. මගුලට දින ද නියම විය. නැකැත් රැගෙන මනමාලයාගේ පියා අපේ ඥති සොහොයුරියගේ මහගෙදරට ද සැපත් විය. (ඒ මනමාලයා රට ගොස් සිටි නිසා මනමාලයා නැති වය).

පොඩි පාට් එකක් දැම්මේ නැත්නම් පෙළපතේ දිග පළල පෙන්විය නොහැකි නිසාදෝ ඔහු මෙසේ කීවේ ය.

බැන්දට පස්සෙ මනමාලි අයිති අපට! මනමාලිට දෙන පොරොන්දුවුන හැම දෙයක්ම ලියල බාර දෙන්න  ඕන!

කට පියා ගෙන සිටීමට බැරි කරුමයට මට මෙසේ ඇසුනේ ය. “මාමේ මේ වෙන්නෙ දේපල පැවරීමක් නම් අපි විවාහ රෙජිස්ත‍්‍රාර් කෙනෙක් වෙනුවට නොතාරිස් කෙනෙක් ගෙන්වමු”. අපි දෑවැද්ද දෙනවනම් මනමාලයාගෙ අයිතිය අපිට තමයි හිමි වෙන්න ඕන. මනමාලිගෙ අයිතිය මාමාලට ඕන නම් දැවෑද්ද දෙන්න වෙන්නෙ ඔය පැත්තෙන්නෙ!”

“වැඩිහිටියෙකුට හරියට කතා කරන්නවත් දන්නැති මූ කවුදැ”යි මාමාණ්ඩිය ප‍්‍රශ්න කළේ ය.

තවත් කෙනෙකුට පැවරෙන දේපලක් වන්නට බැරි යයි ඥති සොහොයුරිය ද කියා සිටියෙන් මාමා ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වැනි තත්වයකට පත් විය.

ඒ පැත්තෙන් පැමිණි වැඩිහිටියන් මාමාව සන්සුන් කර ගත් අතර මම හෙමිහිට මාරු වුනෙමි.

මෙයත්  ඕපාදුපයක් බව ඇත්තය. එහෙත් මේ සමාජය විග‍්‍රහ කරගන්නට අපට උදව් වන  ඕපාදුප යකි.

අර මාමණ්ඩිය එතරම් ගණන් ඉස්සුවේ කුමන හේතුවක් නිසාදැයි මට පසුව පසක් විය. ඥති සොහොයුරියගේ පියා මියගොස් සිටි නිසා අවස්ථාවට සහභාගි වූයේ ඇගේ මවත් සොහොයුරියන් දෙදෙනාත් මාත් මගේ බිරින්දෑත් පමණි. මා හැරුණු විට ඒ වෙලේ ඒ ගෙදර පිරිමි පුලූටක් සිටියේ නැත. තරුණයෙකුගේ හැටි ස්වභාව පෙන්වන මා ආපිටට යමක් කියැතැයි මාමණ්ඩිය බලාපොරොත්තු වුනේත් නැත. මා පවුලේ කෙනෙකු නොවන නිසා කොහොමටත් වැඩි කතාබහක් නැතිව පසුවුනෙමි. මේ සියල්ල රැස්පොට් පෙන්වන්නට අවස්ථාවක් පතා සිටි මාමණ්ඩියට උඩගෙඩි දුන්නාට සැක නැත.

අසරණයින්ට පුප්පන්නට අපේ රටේ උරුමය ඇති පෙළපත් කාරයින්ට කවුරුවත් බුලත් දෙන්නට ඕනැ නැති බව එයිනුත් ඔප්පු විය.

මේ රට අයිති සිංහල බෞද්ධ ගොවිගම කුල පරම්පරාවලින් පැවත එන වයසක පිරිමි සීයලා ටය. රටේ වෙසෙන අන් සියලූ දෙනා, තරුණයින් හා කාන්තාවන් ද ඇතුළුව, ඒ අයගේ අණසකට යටත්ව මුවින් නොබැන සිටිය යුතු ය. අප උන් විසින් ආසාධාරණ ලෙස පවරා ගන්නා දේපල විතරය.

එහෙව් රටක කැරලි ඇති නොවන්නේ නම් එයයි පුදුමය!

Posted in: Uncategorized