මාතර රෝහලින් මතුවන ගෝත‍්‍රික මානසිකත්වය

Posted on April 17, 2009



මාතර රෝහලේ හෙදි සොහොයුරියක් මිය ගිය පුවත මාධ්‍යවලින් දැක ගන්නට ලැබිණි. කවර මනුස්සයෙකු මිය ගිය ද එය වළක්වා ගත හැකි ව තිබූ මරණයක් නම් එයින් කම්පනයක් ඇති වීම ස්වභාවික ය. ඒ කම්පනය අන් කවරෙකුටත් වඩා ඒ පුද්ගලයාට ආසන්නයේ සිටි අයට දැනීම ද ස්වභාවික ය.

ඒ නයින් ගත් කළ හෙද සංගමයට මෙය දැනීම ද ස්වභාවික ය.

ඒ මරණය සම්බන්ධයෙන් ඔවුන් පළ කළ විරෝධයේ ඉතාම වැදගත් සටන් පාඨයක් විය. අපට වෛද්‍යවරු සළකන්නේ මෙහෙම නම් අනිත් උදවියට කෙසේ සළකාවි ද යන්න ය. එය විරෝධයට සහභාගී වුවන් ගත් පුවරු බොහෝමයක සටහන් වී තිබිණි.

කාරණය බැලූ බැල්මට ඇත්ත ය.

එහෙත් ළග ඉන්නා අප ගැන විශේෂයෙන් බලා ගත යුතු ය යන්නක් ද එයින් කියවෙන නිසා එම සටන් පාඨය අතිශයින් ගෝත‍්‍රික ය.

මා දන්නා ආකාරයට වෛද්‍යවරුන් සියලූ ලෙඩුන් එකසේ බලා ගත යුතු ය. අන් අය කෙසේ බලාගත්තත් කාරි නැත. තමන්ගේ අය සුවිශේෂව බලා ගත යුතු යයි කියමින් කණ්ඩායමක් එලියට බසින විට එතැන ඇත්තේ ගෝත‍්‍රික මානසිකත්වයකි.

ලංකාවේ ගෝත‍්‍රික මානසිකත්වය දක්නට ලැබෙන්නේ එක තැනක නොවේ. එය අතිශයින් ප‍්‍රචලිත ය. එසේම එය අතිශයින් ස්වභාවික දෙයක් ලෙස සළකනු ද ලැබේ.

ත‍්‍රීකුණාමලය පැත්තේ සිදුවූ එක්තරා සිදුවීමකට පසු ජවිපෙ එකකුටවත් අත තිබ්බොත් තමන් ප‍්‍රභාකරන්ට නෙළන බව මීට කලකට ඉහත පැවසුවේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ය. ඇත්තටම ප‍්‍රභාකරන් බයේ ජවිපෙට අත නොතිබ්බ නිසා හමුදාවට සටන් කිරීමට සිදුවුනා පමණ ය. නැත්නම් ජවිපෙ ඉදිරිපත් වී ප‍්‍රභාකරන් මීට කලින් කුදලාගෙන ඇවිත් ය.

මා ඒ කතාව ගෙනාවේ අතිශයින් ප‍්‍රගතිශීලි යයි කියා ගන්නා ජවිපෙ පවා ගෝත‍්‍රික මානසිකත්වයෙන් පෙළෙන කල නිකම්ම නිකම් හෙද සංගමයකින් ඊට වඩා එකක් අපේක්ෂා කළ නොහැකි බව කියන්නට ය.

හෙද සංගමයක් රෝගීන් වෙනුවෙන් පෙනී සිටීම යහපත් ප‍්‍රවණතාවයකි. තමන්ගේ රෝගියකු වෙනුවෙන් පමණක් නැතිව සියලූ රෝගීන් වෙනුවෙන් මෙසේ පෙනී සිටින්නේ නම් වඩාත් යහපත් ය. හෙද සේවයේම කෙනෙකු අතින් වන්නාවූ අඩුපාඩුවක දී ද තමන්ගේ එකාට දඩුවම් නොකරනු යයි බෝඩ් රැගෙන පාරට නොබසින තරමට හෙද සේවා සංගම් රෝගීන්ගේ පැත්තේ නම් තවත් හොඳ ය.

ඇත්තටම එසේ පෙනී සිටියා නම් මෙසේ බෝඞ් අල්ලාගෙන විරෝධය දක්වනු වෙනුවට සිය ලෙඩා බේරා ගන්නට ද ඔවුනට ඉඩ ලැබෙන්නට තිබිණි.

මැරෙන්නේ වෙනත් අයෙකු නිසා අපට කමක් නැත්තේ ය යන මානසිකත්වයෙන් අප මිදෙන්නේ කවදාද එදාට මෙසේ අකල් මරණයන්ගෙන් අපේ අය බේරා ගත හැකි වීමේ වැඩි ඉඩකඩක් අපට ලබා ගත හැකි ය.

නැත්නම් තමන්ට මරණය පැමිණිවිට අහෝ මා කලින් විරෝධය පළ නොකළේ මන්දැයි හිත හිතා මෙසේ තැවෙන්නට සිදුවනු ඇත්තේ ය.

Posted in: Uncategorized