උතුරුකුරු දිවයිනේ සිට Beyondframe වාර්ථා කරයි

Posted on April 13, 2009



වෙනදා මෙන් යුද්ධයේ රණ ඝෝසා ද ජය ඝෝසා ද මට ඇසෙන්නේ නැත. යුද්ධයෙන් වේදනාවට පත්ව මිනිසුන් නගන අඳෝනාවන් ද සාපයන් ද මට ඇසෙන්නේ නැත. තුවාල ලත් සිවිල් වැසියන් හෝ අත් පා අහිමි වූ සොල්දාදුවන් මා දකින්නේ නැත. යුද්ධය සමගින් වැළලූනු සත්‍යය සුසුම් හෙලනවාවත් මට දැන් දැනෙන්නේ නැත.

මා සිටින්නේ ඒ සියලූ දෙයින් බොහෝ ඈත ය. ඒ පැරණි මතකයන් වෙනත් ඈතක නාඳුනන කොදෙව්වක එක් දෛවොපගත බොහෝ ඈත යුගයක සිදුවූ දෑ ලෙස මැකී යන මතකයක් පමණක් බවට පත් ව ඇත.

මම උතුරුකුරු දිවයිනට පැමිණ සිටියෙමි. මෙහි සිටියෝ මනුස්සයෝ ය. ජාති භාෂා කුල ආගම්වලින් ඔවුන් බෙදී සිටියේ නැත. ඔවුන් කතා කළේ එක් විශ්වභාෂාවකිනි. සුහදත්වය පළ කරන ඒ බස බොහෝ ලගන්නා සුලූ බසෙකි.

අවලාද නගන්නන් බෙහෙතකටවත් දකින්නට නැත. වෛරය ඔවුනට නාඳුනන දෙයකි. එහෙම වචනයක් ඔවුන්ගේ ශබ්ද කෝෂයේ නැත.

ඔවුහු තම ණැනැස යොදවා තිබුනේ මනුස්සයින්ට සැබෑ ප‍්‍රිතියෙන් වෙසෙන්නට පුලූවන් ලෝකයක් තනන්නට ය. එය කළ යුතු ආකාරය පිිළිබඳව ඔවුහු එකිනෙකා හා වාද කරගත් හ. එකිනෙකාට චෝදනා කිරීමක් ඒ සංවාදය තුළ දක්නට නොතිබිණි. ඔවුහු නිදහසේ එකිනෙකාට සිනහසුණු අතර තමන්ගේම මෝඩකම් පිළිබඳව ද ඊට සමානව තමන්ට ම සිනාසුන හ.

ඔවුන්ට උප්පැන්නවත් හැඳුනුම්පත් වත් තිබුනේ නැත. ඒ නිසා කිසිවෙක් කාගේ කවුදැයි දැන සිටියේ නැත. වයස ආඩම්බරයට හෝ ලජ්ජාවට හේතුවක් නොවී ය. ඇත්තටම ඔවුහු තමන්ගේ වයස කොතෙක් දැයි දැන සිටියේ නැත.

ජාතිය භාෂාව කුලය ආගම දැක්වෙන තිරස් බෙදුම් රේඛා පමණක් නොව තරාතිරම පෙන්වන සිරස් බෙදුම් රේඛා ද උතුරු කුරු දිවයිනේ දක්නට නොවී ය.

මිනිස්සු තමන්ගේ ඉරණමේ වගකීම තමන් දරාගෙන සිටි නිසාම පූජකයෝ ද ගැලවුම් කාරයෝ ද එහි නැත. මිනිස්සු එකිනෙකාගෙන් ඉගෙන ගත් නිසා එහි ගුරුවරු ශිෂ්‍යයෝ යනුවෙන් කොටස් දෙකක් දක්නට නැත.

එහි සිටි හැම මිනිහෙක්ම පාහේ කිසියම් දෙයකට දක්ෂය. එකෙක් දක්ෂ එකකට අනෙකා දක්ෂ නැතත් හැවොම මේ විවිධත්වයට හා එක් එක් අයගේ දක්ෂතාවයන්ට ගරු කළ හ. දක්ෂතාවය උරගා බැලීමේ තරග පැවති අතර ඒවා හැමවිටම උත්සවාකාරයක් ගත්තේ ය. තරගය සහයෝගය හා මුසුව අලූත්ම ජවයක් උතුරුකුරු දිවයිනට ගෙනැවිත් තිබිණි. තමන් කරන්නේ යමක් ද එය මහත් ඉහළින් කිරීමේ වුවමනාව හැම උතුරුකුරු දිවයිනේ වැසියකුගෙන්ම දිස්විය.

ඹා දකිමින් ඉන්නේ සිහිනයක් ද යන්න මම තවම නොදනිමි. එය එසේ නොවේ නම් උතුරු කුරු දිවයිනේ තොරතුරුත් රැුගෙන නැවත ඔබ මුණ ගැසීමට පැමිණෙන්නෙමි.

Advertisements
Posted in: Uncategorized