දිනීම තුළින් ලබන පරාජය හා පරාජය තුළින් ලබන ජය

Posted on April 7, 2009



අපොස උපෙ විභාගයෙන් අවශ්‍ය කඩඉම් ලකුණු ලැබීම නිසා ජයගත් උදවිය සරසවි ගොස් ආණ්ඩුවේ තුට්ටු දෙකේ පඩියකට වැඩ කරද්දී ඒ කඩඉම් ලකුණු නොලැබ පැරදුණු අය ඉතාලියට හෝ කොරියාවේ ලක්ෂ ගණන් වැටුප් උපයා ගෙන දිවි ගෙවති. ජය ලැබුවේ පැරදුනු අය ද පැරදුනේ ජය ගත් අය ද යන ප‍්‍රශ්නය මේ දෙගොල්ලන් විසින් අපට උත්තර හොයන්නට ඉතිරි කර ඇත.

ආණ්ඩුව දිනාගෙන දිනාගෙන යන්නේ ය. එල්ටීටීය පැරදීගෙන පැරදීගෙන යන්නේ ය. රාවය කර්තෘ වික්ටර් අයිවන් කියන පරිදි වර්ග කිමී 15600 ක් පුරා පැතිරුණු එල්ටීටීය වර්ග කිමී 1 ට සීමා කර තිබේ. ඒ වර්ග කීමී යද ආණ්ඩුව උන්ට අහිමි කළේ ය.

මුලූ ලොවම පිළිගන්නා ඒ කාරණය එසේ පවතිද්දීත් එල්ටීටීයේ පරාජය පිළිගැනීමට  Beyondframeට නොහැකිව ඇත්තේ ඇයි දැයි Billy Boy Junior අසයි. මේ ප‍්‍රශ්නය ඔහු පමණක් නොව බොහෝ දෙනෙක්ම නගන නිසා ඊට උත්තර දිය යුතු ය.

කතාව බැලූ බැල්මට තාර්කික ය. එහෙත් ප‍්‍රශ්නය මේ දිනීම පැරදීමකින් කෙළවර වන්නේ ද යන්න ය. මේ පැරදීම දිනීමකින් කෙළවර වන්නේ ද යන්න ය.

එල්ටීටීය විසින් ඝාතනය කරනු ලැබූ රජීව් ගාන්ධිගේ ප‍්‍රිය බිරිඳ සෝනියා ඊයේ පෙරේදා කියා තිබුනේ උතුරේ යුද්ධයට මැදිවී සිටින ජනතාව ආරක්ෂා කිරීම සඳහා පළමු පියවර ලෙස වහාම යුදමය ක‍්‍රියාකාරකම් අවසන් කළ යුතු බව ය. ඊලගට ඇය කියන්නේ එක්සත් ශ‍්‍රී ලාංකික රාජ්‍යයක් තුළ දෙමළ ජනතාව සඳහා සමානාත්මතාව සහ සමාන අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි බලය විමධ්‍යගත කිරීමේ වැඩ පිළිවෙලක් සහ සාකච්ඡු මාර්ගයෙන් මෙම ගැටලූවට විසඳුම් සෙවීම සඳහා ඇයගේ පක්ෂය ද ඉන්දියානු රජය ද කටයුතු කරනු ඇති බව ය.

රටේ ආර්ථිකය යහපත් නැත. අප අවසානයේ දැයට ඉතිරිකර තබන්නේ ණය දෙන ආයතන මත නැටවෙන රටක් නම් අප දිනාගත් දෙයක් තිබේද? ඒ නැටවිල්ලේම එක් කොන්දේසියක් ලෙස දෙමළ ජාතික අභිලාෂයන් කි‍්‍රයාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියට ගන්නට නොසිදුවෙයි ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල්වතාවට නොනිල ලෙස ශ‍්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡුා කළේ ය. අපේ නියෝජිතයා එහිදී ඉතා දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් පවතින තත්වයේ වෙනසක් ඇතිකිරීම අවශ්‍ය යයි ඔහු අවසාන පිළිගත් බවත් ප‍්‍රකාශ විය.

ශ‍්‍රී ලාංකික නිශ්පාදන මිලදී නොගන්නැයි දෙමළ ඩයස්පෝරාව දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. දැනටමත් කණකොකා හඩා ඇති අපේ අපනයන ආදායම්වලට මෙය කෙසේ බලපායි ද?

මේ ලයිස්තුවට තවත් බොහෝ දේ එක් කළහැකි ය. ඒ අතර අරුන්දතී රෝයි ගේ හඩ, තමිල්නාඩුවේ ප‍්‍රතික‍්‍රියා, අම්පාරේ හා නැගෙනහිර මුදාගත් ප‍්‍රදේශවල කොටි නැටුම්, උත්සවාකාරී ලෙස විවෘත කළ ඒ නවය මාර්ගය නැවතත් වල් බිහිගැන්වීම ආදී නොයෙකුත් දේ එක් කළ හැකි ය. 

අපට කීමට ඇත්තේ අප කලින් කී දේ මය. “මේ ගහන්නේ මැච් එකක් නම් එල්ටීටීය පරාජය කර හමාර ය” (මෙම මැයෙන් අප තැබූ බ්ලොග් සටහන ඔබට මතක ඇතැයි සිතමු) මේ අප පෙනී සිටින්නේ විභාගයක් නම් එයින් කඩඉම් ලකුණු ලබා ගෙන හමාර ය. එහෙත් අපේ අවාසනාවට මේ මැච් එකක් නොවේ. විභාගයක් ද නොවේ. මේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද සමාජ ආර්ථික හා දේශපාලනමය බොහෝ සංකීර්ණතා ව්‍යාකූලතා ඇති ජීවිතයයි.

ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකාව මුහුණ දී ඉන්නේ මේ සංකීර්ණතා හා ව්‍යාකූලතා පිළිබඳ ගැටලූවට ය. අපිට ද කලින් මැච් එක ගේමක් නැතිව ම දිනූ ඇමරිකාව අදටත් මේ දෙරටේ අඩක් මඬේ එරී සිටී.

එල්ටීටීය පරාජය කිරීමට ඇත්තේ එකම එක් විදියකි. ඒ දෙමළ ජාතික අභිලාෂයන් ඉටුකර දීමෙනි.

Advertisements
Posted in: Uncategorized