කොටින් පරදවා ජය තහවුරු කරන්නට පඩියෙන් සියයට දහයක් පරිත්‍යාග කරමු

Posted on April 6, 2009



අප මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ දුෂ්කරතාවයට පත් අපේ ආණ්ඩුව වෙනුවෙන් දේශපේ‍්‍රමි ජනතාවට ය. තමන්ගේ දේශපේ‍්‍රමීත්වය කට කොණට එන වාග් කි‍්‍රයාකාරිත්වයකට වඩා එහා ගිය එකක් බව ඔප්පු කිරීමේ කදිම අවස්ථාවක් ඔබට දැන් ලැබී තිබේ.

ඇත්තටම ආණ්ඩුව අමාරුවෙ වැටිලා ය. ඒ අන් හැමදේකටම වඩා ආර්ථික වශයෙනි. බොහෝ ආයතනවලට පඩි ගෙවා ගන්නටවත් මුදල් නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්ලග් එක අකමැත්තෙන් වුව නැවත ගසා ගන්නට සිදුවුනේ ඒ නිසා ය.

බොහෝ දෙනෙක් ආණ්ඩුවේ ජාතිමාමක ව්‍යාපෘතියට සහය දක්වන්නේ කටිනි. එහෙත් ඔබ මේ අමාරු අවස්ථාවේ ආණ්ඩුව සමග සිටින බව ක‍්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු ය.

ආණ්ඩුව අන්ත ලෙස අසරණව තිබුන ද හෙට අනිද්දා මැතිවරණයකුත් තියාගෙන ඒ බව එලිපිට පිළිගන්නට බැරි ය. ආණ්ඩුව හිගන්නෙකු නොවී පුලන්නෙකු වී ඇත්තේ ඒ නිසා ය.

ආණ්ඩුවේ යුද ව්‍යාපෘතියට සහය දක්වන්නට ඔබ ඊට ජන්දයක් දුන්නාට මදි ය. ජාතික කොඩියක් එසවුවාට මදි ය. ආර්ථික බලයකින් තොර දේශපාලන බලය පුස්සක් වන බැවිනි. ඒ නිසා හෙට අනිද්දා ජන්දය දීමට සූදානම් වන ඔබ දේශපාලන බලයෙන් ආණ්ඩුව සන්නද්ධ කරන අතරේ ආර්ථික බලයෙන් ද එය සන්නද්ධ කිරීමට පෙරමුණ ගත යුතු ය.

රණවිරුවන් දිවා රාත‍්‍රී නොබලා යුද්දයක් කරන මේ මොහොතේ දකුණේ යහතින් නිදා ගන්නා ඔබට පඩියෙන් සියයට දහයක් පරිත්‍යාග කිරීම අමාරු නැත. ආණ්ඩුව මේ ඉල්ලීම කරන තුරු ඉන්නේ නැතිව දැන්මම ආණ්ඩුවට බකප් එක දීම ඔබේ කාර්යයකි. ජනාධිපති තුමා මුලු පඩියම කැප කිරීමෙන් පෙන්වූ මහගු ආදර්ශය අනුව යමින් මුලුමනින් නැතත් සියයට දහයක් පරිත්‍යාග කිරීමට ඔබට බැරි නැතැයි අපි විශ්වාස කරමු.

නැත්නම් කොටි ඔබට සිනාසෙනු ඇත. උන් බලා සිටින්නේ ආණ්ඩුව යුද්ධයත් සමග ආර්ථික වශයෙන් ඇණ ගන්නා තුරු ය. ඒ හැකියාව පැරදවිය හැක්කේ ද ඔබ ඉක්මන් වුවහොත් ය. නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා උන් ඔබේ යුද ව්‍යාපෘතියටද අත පොවනු ඇත.

එපමණක් නොවේ දකුණේ දේශද්‍රෝහීන් ද ඔබට හිනාවෙනු ඇත. කොටින්ගේ හිනාවටද වඩා දරුණුවනු ඇත්තේ උන්ගේ හිනාවය. පඩියෙන් සියයට දහයක් වත් දෙන්නට බැරි උන්ගේ දේශපේ‍්‍රමය!

මේ හිනාව පැරදවිය හැක්කේ පුලූ-පුලූවන් අය සියයට දහයක් නොව සියයට විස්සක් හෝ තිහක් ආණ්ඩුවට දීමට ඉදිරිපත් වීමෙනි. කොටි සහ උන්ගේ සහචරයන් හිනාවුනාට මෙහෙම වැඩපිළිවෙලක් ඉදිරියට ගන්නේ නම් මිනිසුන් දහස් ගණනින් ලක්ෂ ගණනින් නොව මිලියන ගණනින් සහභාගි වනු ඇති බවට එල්ලා ඇති ජාතික කොඩි ද පිපිරුණු රතිඤ්ඤා ද දෙස් දෙයි.

Posted in: Uncategorized