අල්ලපු ගෙදරවත් ඉතිරිකර ගත්තොත් හොඳ නැත් ද?

Posted on April 2, 2009



“පැත්තක් ගියත් ඇත්ත කියන්නට” වරම් ලබා ගත් මහත්තයෙක් “මගේ ගෑනිට මං ගහන හැටි අල්ලපු ගෙදර මිනිහට වැඩක් නෑ” කියමින් තම ගෑහැණියට හිරිහැර කිරීමට ගමෙන් බලපත‍්‍රයක් ඉල්ලා සිටියි. http://sasika.myblog.lk/

සහේට ගත් ගෑණිට ගහන්න අයිතියක් මේ මහත්තයාට දුන්නේ කවුරුන්දැයි අප විසින් සොයා බැලිය යුතු ය.

ගෑණිට හිරිහැර කිරීම නිසා ගෑණී අල්ලපු ගෙදර ඉන්නා අප වෙත රැකවරණය පතා දුව ආවේ නම් අප විසින් කුමක් කළ යුතු දැයි ඒ මහතාගෙන් තවදුරටත් අසා දැන ගත යුතු ය. එසේ රැකවරණය පතා ගෑණියෙකුට දුවන්නට සිදුවීමේ වගකීම පැත්තක් ගියත් ඇත්ත කියන මහත්තයා දරන්නේ දැයි ද අප අමතරව දැන ගත යුතු ය.

කෝලාහලය දුරදිග ගොස් ගෑණි බැරිවෙලාවත් මහත්තයා මරන්නට මන්නයක් ඇතිව පන්නන විට අල්ලපු ගෙදර ඉන්නා අප විසින් කුමක් කළ යුතු දැයි ඒ මහත්තයාගෙන් අමතරෙන් අසා දැන ගත යුතු ය.

සිදුවන්නට කෝලහාලයක් හා ඒ නිසා වන්නට යන මරණයක් වළක්වාලීමට අපට යමක් කළ හැකි නම් එය නොකර අහක බලා ගත යුතු දැයි අප ඒ මහතාගෙන් විමසා දැන ගත යුතු ය.

මේවා දැනකියා ගෙනම මෙහෙම අසල්වාසීන් ආශ‍්‍රය කිරීම හොඳ ය. නැත්නම් අපට ගමේ විසුමක් වෙන්නේ නැත.

ගෑණියක් යනු තමන්ගේ බඩුවකි. එහි අයිතිය තමන් සතු ය. ඒ නිසා ගහන්නට වුව ද අයිතියක් ඇත. බැරිවෙලාවත් අනිත් පැත්තට දීලා අත ඇරියොත්? බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම වෙන එකක් නැත කියා ය.

දෙමළ ජනතාව ද මේ කියන අයගේ ගෑණුන් තරමටම යටත් කර ගත යුතු අවර ගණයේ කොටසකි. ඒ නිසා උන්ට ගහන්නට සිංහලයින්ට අයිතියක් ඇත. බොහෝ දෙනෙකු 1983 හිතුවේ ගෑණි මෙල්ල කරගත් ගානට උන්ව ද මෙල්ල කර ගැනීමට ය.

පසු කාලෙක උන් රටක් රාජ්ජයක් ගානට ශක්තිමත් වුනේ ගෑණියක් යටත් කර ගත් ගානට ජාතියක් යටත් කර ගැනීම ලෙහෙසි නොවන බවට අවබෝධයක් අපට නොතිබීම හේතුවෙනි.

දැන් ගමේ චණ්ඩින්ගේ ද උදව් ඇතිව ගෑණිව මෙල්ල කර ගැනීමට ලග ය. උන්ව මෙල්ල කර ගැනීම අපේ වැඩකි. ඒකට ඉන්දියාව හොට දාන්නට  ඕනෑ නැත.

මේ උදුම්මාගත් අධිමානය අවසානයේ අපව ගෙන යනු ඇත්තේ කොතනට දැයි අපි බලා සිටිමු.

ආදරයෙන් යුතු දීගයක් කන්නට බැරි බොහෝ දෙනෙකුට තියෙන රුදාවෙන් “පැත්තක් ගියත් ඇත්ත කියන” මහත්තයා පෙළෙයි. උන්දලා හෙට අනිද්දා තළා පෙළා අවමන් කර බිම හෙලූ ගෑණියගෙන් උත්තර ලබන්නට නියමිත ය.

මහත්තයො, එදාට දුවන්න අල්ලපු ගෙදරවත් ඉතිරිකර ගත්තොත් හොඳ නැත් ද?

Advertisements
Posted in: Uncategorized