සරණ ගුණවර්ධනගෙන් පොලිසිය සරණ පතයි

Posted on April 1, 2009



රාත‍්‍රියේ ගෙදරකට පැන නිවැසියන් බියගන්වා අවුරුදු 12 ක ලමයෙක් බලාහාත්කාරයෙන් පැහැර ගෙන ගියේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය චුදිතයෙක් සොයයි.

ඒ එක්සත් ජනතා නිදහස් සංධානයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරණ ගුණවර්ධන මහතා ය.

වෙන එකක් තියා එතුමා සොයා පොලිසිය එතුමාගේ ගෙදරට ද ගොස් තිබේ (බය නැති කමක මහත!). එහෙත් එතුමා ගෙදර නැතැයි එතුමා විසින්ම පවසා තිබේ.

කතාව අදහාගන්නට ටිකක් අමාරු වුව ද අමාරුවෙන් කතාව තේරුම් ගත් පොලිසිය නැවත පොලිස් ස්ථානයට පැමීණ ඇත.

නඩුව අසන දිනයේ සරණ ගුණවර්ධන මහතා ගෙදර නොසිටි බව පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ. ඇත්තටම මේ අවස්ථාවේ පොලිසිය අසරණ බවත් සරණ විසින් තමන්ම ඉදිරිපත්වීමෙන් මිසක පොලිසියට සරණ විය හැකි කිසිවෙකුත් නැති බවත් අධිකරණයේ පවා පිළිගැනීම වී තිබේ. මෑතක සිට අධිකරණය ද අසරණව ඇති බව මෙයින් ප‍්‍රකට වෙන අනිත් කාරණයයි.

ඇත්තටම සරණ ගුණවර්ධන මහතා පොලිසිය යන වෙලාවේ ගෙදර නොසිට කට්ටි පැනීම පොලිසියට තම රාජකාරිය කර ගැනීමට බාධාවක් ව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සඳහන් කළේ චුදිතයන් ගෙවල්වල රැඳී පොලිසිය එනතෙක් සිටීමෙන් පොලිසියේ කටයුතු වඩාත් පහසු කළ හැකි බවයි.

කවුරු හරි කෙනෙක් සරණ ගුණවර්ධන මහතා පොලිසියට කුදලා ගෙන එන්නේ නම් බය නැතුව තමන් ඔහු කූඩු කිරීමට කැමති බව පොලිසියේ උසස් නිලධාරියෙක්ද මේ අතර අප සමග පැවසීය.

සරණ ගුණවර්ධන මහතා මේ කරන ලද නීති විරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා එතුමාගේ පැත්තෙන් කියන්නට ඇති කතාව එන තෙක් එජානිස සංවිධානයේ විනය කමිටුව බලා සිටින අතර වැරැද්දක් කර ඇත්නම් කිසිම සමාවක් නොලැබෙනු ඇතැයි එජානිස නව මාධ්‍ය ප‍්‍රකාශත දූෂණ විරෝධී සුද්දවන්තලාගේ විමල් වීරවංශ මහතා පවා පවසා තිබේ.

යු ඇන් පී සුදුවෑන් කාරයින් විසින් එතුමාව උස්සන්නට ඇතැයි ජනතාව අතර සැක මතුවන්නට පටන් ගෙන තිබේ. සමහරු කියන්නේ ඒ බිය නිසා එතුමා ගංගනාත් මහාචාර්ය තුමා මෙන් රට හැර යන්නට ඇති බවයි.

මේ රන් විමනක් වූ අප ජාතියේ වත්මන් කතන්දරයයි.

ඉතින් කාටද ආඩම්බර?

(ප.ලි. මෙහිදී ජනාධිපති තුමා නම් බබෙකුටත් වඩා අහිංසකය. අසරණය. සියල්ල කරන්නේ පොලිසියට රිංගාගෙන ඇති යූ ඇන් පී කාරයින් විසින් බව සැළකුව මනාය.)

Posted in: Uncategorized