පුද්ගලික විශ්වවිද්‍යාල – Private Universities – ගැන කතිකාව

Posted on March 21, 2009



රාමචන්ද්‍රගේ බ්ලොග් අඩවියෙ ගිය ඉහත කතිකාවට මාත් පොඞ්ඩක් ඔලූව දාලා බැලූව. මේ කතිකාවත් අන් හැම කතිකාවක්ම වගේ හැගීම් අවුස්සන එකක් වෙලා. මට හිතුන මේකට මගේ පුංචි අදහස් කීපයකුත් එකතු කරන්න.

බොහෝ බටහිර රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් බොහෝ දෙනෙක් රැකියාවලත් යෙදෙනව. බොහෝ රටවල ආණ්ඩු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අයට ණය මුදල් පවා ලබා දෙනවා. සමහරු කාලයක් රැකියා කරල මුදල් උපයාගෙන නැවත විශ්ව විද්‍යාලයට යනව. (මෙහේ වගේ වයස ඊට බලපාන්නෙ නැහැ)

ඒ නිසා ඒ රටවල සල්ලි නැති නිසා විශ්ව විද්‍යාලයන්වලට නොයන අය අඩුයි. ඒ විශ්ව විද්‍යාල පද්ධතිය හදල තියෙන්නේ  ඕනම කෙනෙකුට දක්ෂ නම් ඒ පද්ධතියට කිසියම් දවසක ඇතුළු වෙන්න පුලූවන් විදිහට.

එක උපාධියක් නෙවෙයි. අවශ්‍ය නම් උපාධි කීපයක් කරන්නටත් ඒ රටවල ඒ නිසා අවසර තියෙනව.

පුද්ගලික විශ්ව විද්‍යාලත් තියෙන නිසා විශ්ව විද්‍යාල අතර විශාල තරගයක් තියෙනව. ඒ නිසා විශ්වවිද්‍යාලවලින් අලූත් දේ බිහිවෙනව. අලූත් පාඨමාලා ඇති වෙනව. අලූත් දර්ශනයන් ඉදිරිපත් වෙනව.

බොහෝ විශ්ව විද්‍යාල දක්ෂ දුප්පත් සිසුන් තමන්ගේ විශ්ව විද්‍යාලවලට ඇදගන්නට ගාස්තුවලින් නිදහස් කිරීම්වලට අමතරව සමහර විට ජීවන දීමනා පවා ගෙවනව.

බොහෝ ව්‍යාපාරික ආයතන දුප්පත් දක්ෂ සිසුන් වෙනුවෙන් අරමුදල් සංවිධානය කර තිබෙනව. ආයතනික සමාජ මෙහෙවරක් හැටියට. ඒවා සමහර අවවරප‍්‍රසාදිත සමාජ කණ්ඩායම් ඉලක්ක කර ගෙන සංවිධානය කරල තියෙනව (කාන්තාවන්, කලූ ජාතිකයින්, අබාධිතයින් ආදී වශයෙන්)

විවිධ සමාජ ව්‍යාපාරවලින් අනුග‍්‍රහ දක්වන කණ්ඩායම්ද ඒ අතර වෙනව.

සමහර රටවල විශ්ව විද්‍යාලවල තමන්ම නීති දාගෙන ඉන්නව මුදල් අයකරන හැම සිසුන් පස් දෙනෙකුට හෝ දහ දෙනෙකුට මුදල් අයනොකරන එක ශිෂ්‍යයෙක් ඇතුළු කරගන්නා ආකාරය ට. ඒ විදිහට දක්ෂ අය අධ්‍යාපනයෙන් අයින් වීමෙන් සමාජයට වන හානිය අවම  වෙලා තියෙනව.

බොහෝ විශ්ව විද්‍යාල තමන්ගෙ රටවල දුප්පත් සිසුන් පමණක් නෙවෙයි, වෙනත් අඩු ආදායම් ලාභී රටවල දුප්පත් සිසුන්ටද අවස්ථාවන් ලබා දීල තියෙනව.

විශ්ව විද්‍යාලයක නැගීම තියෙන්නේ සල්ලි තියෙන මුග්ධයින් අතලොස්සකට අධ්‍යාපන සහතික පිරිනැමීම ඇතුළෙ නෙමෙයි. විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්නට මේ තරගකාරී ලෝකයේ මුදල්වලට විතරක් බැහැ. ඒ සඳහා දක්ෂ සිසුන් අවශ්‍යයයි. හැබැයි මුදල් නැතිවත් බැහැ. මේ අන්ත දෙක ඉදිරිගාමී විශ්ව විද්‍යාල දක්ෂ විදිහට තුලනය කරනවා. නැත්නම් ඒ ගොල්ලන්ට දිගු කාලීන පැවැත්මක් නැති නිසා.

සමහර විශ්ව විද්‍යාලවල තෝරා ගැනීම සඳහා ප‍්‍රවේශ විභාගයන්වල ලබා ගන්නා ලකුණු යොදා ගන්නේ පෙරහනයක් ලෙස පමණකි ඉන් අදහස් කරන්නේ යම් අවම ලකුණු මට්ටමක් පමණක් ලබා ගැනීම සෑහෙන බවයි එහෙත් ඔවුන්ගේ වැඩි අවධානය යොමුවන්නේ තමන් තෝරාගන්නා විශය පථය පිළිබඳ සිසුන් ප‍්‍රදර්ශනය කර ඇති උනන්දුව ය ඒ සඳහා ඔවුන් විසින් දැනටමත් කර ඇති ක‍්‍රියාකාරකම් ය

සමාජ සාධාරණය ඉටුවන අතරේ වඩා ඉදිරිගාමී සමාජයක් හදන්නේ කොහොමද කියන කාරණයයි අප විසින් සළකා බැලිය යුතුව ඇත්තේ.

එහෙත් මේ විවාදයන් බොහෝමයක් ඒක පාක්ෂිකයි. එක්කො ඉදිරිගමන අමතක කරල සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී ඉන්න අයත් එහෙම නැත්නම් සමාජ සාධාරණත්වය අමතක කරල ඉදිරිගමන වෙනුවෙන් පෙනී සිටින අයත් ඉන්නව. හැබැයි හොඳට බැලූවොත් පේනව, මේ දෙකෙන් එකක් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන බොහොම අය ඇත්තටම පෙනී ඉන්නෙ තමන්ගේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් විතරයි කියලා.

ඒක අපේ කරුමෙ වෙන්න ඇති, මෝඩකම නොවේ නම්!

Advertisements
Posted in: Uncategorized