අසන නිරිඳේ වෙන කොයින් දා

Posted on March 18, 2009



මා වැනි බිළින්දා
රජගෙදරටම කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳේ වෙන කොයින් දා

කට පුරා මෙහෙම කවියක් කියන්නට පුලූවන් අපේ ලොක්කා ගැන විතර ය. උපුල් ශාන්ත සන්නස්ගල පපුවේ අමාරුවක් හැදී ඉන්නා වෙලේ දුරකථන ඇමතුමක් දුන්නේ රජ ගෙදරට අසනීප මනුස්සයා කැඳවිය නොහැකි නිසා ය. නැත්නම් රජගෙදරටම කැඳවා දුක් සැප සොයන ක‍්‍රමයක් දැන් රටේ ක‍්‍රි‍්‍රයාත්මක ය.

උපුල් ශාන්ත සන්නස්සගල නම් ඒ ලැබුනු ආසිරි බාරගත්තේත් නැත. බාර නොගත්තේ නැත. ඔබට එවැනි “අමාරුවක්” නැති නිසා කෙළින්ම බාර ගත හැකි ය.

මේ සුවදුක් සොයන පණිවුඩය ලැබීම සඳහා ඔබ ආණ්ඩු පක්ෂයේම වෙන්න අවශ්‍ය නැත. එහෙ පයයි මෙහෙ පයයි විදිහට දෙපැත්තටම නැතුව වාගේ ඉඳී නම් පණිවුඩය ෂුවර් ය. සමහර විට ගියාට වැඩිය සැළකිල්ල ඇත්තේ යන්න ඔන්න මෙන්න වගේ ඉන්නා විටය. සොමියත් එවිට ය. ගනුදෙනුත් එවිට ය.

ඔබ දැනටමත් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ නම් වැඩිය හොඳ විදිහ වැඩි සද්දයක් බද්දයක් නොකර විපක්ෂයට එක් වන එක ය. ටික කලකට පසු නැවතත් පනින්නට සූදානම් වාගේ ඉන්න එක ය. එහෙම ඉන්නා වෙලාවක ඉස්පිරිතාලයකට වැස්සකටවත් ගොඩ වැදුනත් බඩු ෂුවර් ය. ලොක්කාගේ කෝල් එක ලැබෙන්නේ ම ය.

වැඩ බලාකියා ගන්නට මල්ලිලා රැසක් ඉන්නා නිසා බොස්ට කෝල් එකක් දෙන්න චාන්ස් එකක් ලැබුනහම රටක් රාජ්‍යයක් දින්නා හා සතුටක් ලැබේ. ඇත්තටම බොස් කළමනාකරණ බාසාවෙන් කියන්නේ නම් පුද්ගල කේන්ද්‍රීය නායකයෙකි. ඒ නිසා වැඩ කිරිම මල්ලිලාට පවරලා තෙමේ පුංචි බිළින්දන් මෙන්ම මහ බිළින්දන් ද සුරතල් කිරීමේ යෙදී සිටී.

බොස්ගේ මේ හුරතල් විඳීමට කැමති අය රජගෙදර අංකයට දුරකථන ඇමතුමක් දී වේලාවක් ලබා ගන්න. පනින්න ලෑස්ති කවදාද කියා දැනුම් දීම යුතුකමක් ලෙස මිස අනිවාර්ය දෙයක් ලෙස නොසැළකේ.

රජගෙදර ඉන්න නොලැබුනත් මොහොතකට හෝ එහි ගොඩ වැදී ආශිර්වාද ලැබ එන්න පුලූවන් නම් මක් වෙනවාද?

ආපහු එන ගමනේ මැදට පැන කුඩුත්තේරු කමට ප‍්‍රශ්න අසන්නට එන මාධ්‍ය වේදියෙකු සිටී නම් ඌට කියන්න තියෙන්නේ මෙපමණ ය. මම එයාගේ පැත්තට මාරුවුනා. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද? දැන් ඉස්සර වගේ ආරස්සාව ගැන බයකුත් නැහැ කියාලා ය.

මා හිතනා හැටියට වික්ටර් අයිවන්ට ගිල්වන්න ඇත්තේත් ඔය ඇමය.

නිකමට වගේ මට හිතුනේ මටත් කැඳවීමක් අද හෙට ලැබේය කියා ය. ඉරිසියා හිතන්න  ඕනෑ නැත. විරුද්ධ පක්ෂයේ නම් උඹටත් දවසක මේ හඳ පායනවා ය. වික්ටර් අයිවන්ට පායපු මට පායනවා යයි මට දැනෙන මේ හඳ උඹට නොපායා ඉන්න හේතුවක් මට නම් නොපෙනේ.

Posted in: Uncategorized