මෙන්න ඇත්ත

Posted on March 17, 2009



රටේ යුද්ධයක් පවතී. එහෙත් එය මානුෂික ය. එය ජන ඝාතක යුද්ධයක් නොව ජනතාවට විමුක්තිය ලබා දීමේ අවසන් සටනය.

කොටි මැරෙන අතර එකද සිවිල් වැසියෙකුට වත් එක් හමුදා සෙබලෙකුටවත් තුවාලයක් වත් වන බවට ආරංචියක් නැත.

අපේ නායකයින්ට මෙන් නොව ප‍්‍රභාකරන්ට වායුසමීකරණය කළ බංගලා ද නාන තාටාක ද ඇත. දෙමළ ජනතාවගේ මුදල් වලින් එල් ටී ටී නායකයෝ විඳ ඇත්තේ සුර සැප ය. අපේ නායකයින්ට නම් සුර සැප තියා හරි හැටි කන්නටවත් නැත.

යුද්දයට ජනතාවගේ මුදල් වියදම් වන්නේ නැත. ඒවා බාප්පොච්චාගේ සල්ලි ය. ඒ නිසා ඒ ගැන කතා කරන්නට කාටවත් අයිතියක් නැත.

යුද්දය හෙට අනිද්දා ඉවරවුනහම දෙමළ ජනතාවට විමුක්තිය ලැබේ. අපට හිතේ කරදරයක් නැතිව ඉන්නට ඉඩ ලැබේ.

ත‍්‍රස්තවාදය අවසන් කරන්නේ කෙසේ දැයි දැන ගැනීමට ලෝකයා හෙට සිට පෝලිමේ ලංකාවට එනු ඇත. උන්ට පහසුවෙන් එන්නට හැකිවන සේ මිහින් එයා එකවත් තියෙන එක හොඳ ය. ඇත්තටම අමාරුවෙන් සිටීයදීත් මිහින් එයා නැවත ආරම්භ කළේ යුද්දය අවසන් වීමත් සමග ඔය දේ සිදුවන බව නිච්චෙටම දන්නා නිසා ය.

ඹහින්ද චින්තනය දැන් කියවන්නේ ඔබාමාත් ප‍්‍රංශ ජනාධිපති තුමාත් ය. එයට මිලක් නියම කොට හෙට අනිද්දා ලෝකයේ හතර දිග් භාගයේම විකිණිමට පුලූවන.

ඇත්තටම ලෝක බැංකුවේ උදව් නැතිවාට රට ගෙනියන්නට පුලූවන. ආර්ථික අර්බුදයෙන් බැට කන හැමෝටම දෙන නිසා අපිත් අත ඇල්ලූවා මිසක ආර්ථිකය ශක්තිමත් ය.

ලෝක බැංකුව ඉස්සර ණය දුන්නේ කොන්දේසි දාලා ය. දැන් විමලයා ඉන්නේ අපේ ආණ්ඩුවේ නිසා ඌට බයේ කොන්දේසි නැතිවම දෙනවා ය.

ඉන්දියාවෙන් දොස්තරලා ආවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති කම ලංකාවට ලැබුණු නිසා ඒකට සැළකීමක් හැටියට ය. නැතිව දොස්තරලා හිගයක් ලංකාවේ ඇති නිසා නොවේ.

දොස්තරලාගේ ආරක්ෂාවට ඉන්දීය හමුදාවක් ආවා කියන්නේ පට්ටපල් බොරුය. මෙතරම් ආරක්ෂාවක් සහතික කර ඇති ලංකාවේ දොස්තරලා රැකීමට එහෙම එකක්  ඕනෑ නැත.

ගංගානාත් දිසානායක ඉස්සුවා කියන්නේ අමූලික බොරුවකි. මිනිහා ජනාධිපති තුමා ගැන ලියනවායයි කියන කතාවට තරහ ගොසින් යූ ඇන් පී කාරයෝ මිනිහාව උස්සා තිබේ. දැන් වයිට් වෑන් තියෙන්නේ යු ඇන් පී එකට ය.

ලසන්තගේ ඝාතනයට වගකිව යුත්තන් මාර්තු පළමුවැනි දාට පෙර ජනතාවට කියනවා යයි ජනාධිපති තුමා කියා තිබුනේ නැත. ඒ එතුමා අපහසුතාවයට පත් කරන්නට ගෙතූ බොරු කතාවකි. වගකිව යුත්තන් කවුදැයි දන්නේ නම් එතුමා රටට කිය කිය ඉන්නේ නැත. මිත‍්‍රයා ඝාතනය කළ මිනීමරුවන්ට කරන්නට  ඕනෑ දේ එතුමා දන්නේ ය. එහෙම දාල තිබුන පත්තරය ජනාධිපති තුමාට හරියට මතක නැත. මතක නම් පත්තරයට කරන්න  ඕනෑ හරිය ද එතුමා දන්නේ ය.

මේ රටේ මිනිසුන්ට තරම් මොළය තියෙන ජාතියක් කොහේවත් නැත. එන්න එන්නම මහින්දගේ දෑත් දෙපය පමණක් නොව කොන්ද ඇතුළු සර්වාංගයම ශක්තිමත් කරන්නට පොරකකා ඉදිරිපත්වන්නේ ඒ නිසා ය.

Advertisements
Posted in: Uncategorized