කැළණි සරසවියේ ජාතික ප‍්‍රබෝධය

Posted on March 16, 2009



ජාතික චින්තන ප‍්‍රවාහයේ හදිසි රැස්වීමක් ඊයේ කැළණි සරසවියේ පැවැත්විණි. මාධ්‍ය ආවරණය සඳහා අපටද ආරාධනා කර තිබූ හෙයින් අපිදු තකහනියක්ම එහි ගියෙමු.

රැස්වීම අති රහස් ලෙස පැවති අතර එය අවසානයේ මාධ්‍ය සාකච්ඡුවක් ද පැවැත්විණි.

යුදෙව් ක‍්‍රිස්තියානි වික්ටෝරියානු චින්තනය පරාජය කර ඉපැරණි දේශීය චින්තනය ඉදිරියට ගැනීම සඳහා හදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට තමන් තීරණය කර ඇතැයි ද එහි පළමු පියවර කැළණි සරසවිය තූළ ආදර්ශ මෙහෙයුමක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ද එහි දී පැවසිණි.

කෙනෙකුගේ මනස සැදීමට තමන් ඇඳ සිටින ඇඳුම උදව් වෙන බවත් තමන් පරිහරණය කරන දේද උදව්වන බවත් එහිදී අපට කියා දෙන ලදී. කලිසම් ඇඳ කෝකා කෝලා බීමෙන් අපට සිදුවන්නේ ඒ අධිරාජ්‍යවාදී මනසක් ද ඒ සමගම ගන්නට ය. අප තවමත් අඳින්නේ යුදෙව් ක‍්‍රිස්තියානි දර්ශනයේ තුන්වෙනි කාර්තුවේ වික්ටෝරියානු දර්ශනයන්ට අනුව බවත් ඒ නිසා අපේ සිතිවිලි ද ඒ දර්ශනයන්ට අනුව සැකසී ඇති බවත් ඊළගට පැවසිණි. ඉපැරණි සෞභාග්‍ය නැවත ලගා කරගැනීම සඳහා මේ තුප්පහි සංස්කෘතික මනස් ඉවත් කොට සැබෑ දේශීය මනසක් අපේ තරුණ පරපුරට අයත් කර දිය යුතු ය.

ඒ නිසා සීගිරි ලලනාවන් ඇඳි ඇඳුම සිසුවියන්ටත් අප රට ධාන්‍යගාරයක් කළ ඒ අභිමානවත් ගොවි ජනතාව ඇඳි අමුඩය සිසුන්ටත් ඇන්දීමට තීරණය කර ඇතැයි ඊළගට දැනුම් දෙන ලදී.

සභාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවුනෙන් පැහැදිලි කිරීම සඳහා කථිකයෙක් නැගී සිටියේ ය.

දැන් බලන්න මේ දවස්වල තියෙන රස්නය! මේ වගේ කාල ගුණයට ගැලපෙන්නේ මේ ඇඳුම්. ඉස්සර මේවා ඇන්දෙ බොහොම ආඩම්බරෙන්. දැන් මොකද වෙලා තියෙන්නෙ? යුදෙව් ක‍්‍රිස්තියානි වික්ටෝරියානු අභාෂය නිසා මේවා ගැන කතා කරන මිනිහ පවා අවමානයට පත් කරනව. සභාවෙ නැගිල ගිය සූ හඩින් පේන්නේ මේ ජාතික දේ අගය කරනව වෙනුවට විහිලූවට පත් කරන්නට කට්ටිය සූදානම් බවයි.

අපි ඒ අයට කියන්නේ අපි මේක කරනව කවුරු විරුද්ධ වුනත්. ලෝකයම පුදුමයට පත්කළ සීගිරි යුගයට, අපේය කියල ආඩම්බරයෙන් කියන්න පුලූවන් ඒ යුගයට, අපි යනව.

අමුඩ අඳින්න බැරි කොල්ලො හෙට ඉඳල කැළණිය සරසවියට නාවට කමක් නැහැ. මලින් ලැම සරසගන්නෙ නැතිව ඒක රෙද්දකින් වහගෙන ඉන්න කෙල්ලො ගෙදර හිටියාවෙ. ජාතික චින්තනය පිළිගන්න ලෑස්ති උදවියත් එක්ක කැළණි සරසවිය ඉස්සරහටම යනව. කොකා කෝලා තහනම් කරමින් අපි පටන් ගත්ත ව්‍යාපාරය මේ ඇඳුම් වෙනස් කිරීමත් සමග අපි ඉදිරියටම ගෙනියනව.

වික්ටෝරියානු සංස්කෘතියට විනාශය, සීගිරි සංස්කෘතියට විමුක්තිය!

අපිට තිබුනේ ලියාගන්නය. කතා කරන්න අවසර නැති බව එවූ ආරාධනා පත‍්‍රයේම සටහන් කර තිබිණි. ඇත්තටම එක් අතකින් ඒක හොඳය. නැත්නම් වෙන්නේ නිකම් ගුටිකන්නය. ඒ නිසා අකුරු අඩුවක් නැතිව මෙසේ ලීවෙමු. අමුඩයක් අඳින්න කැමති නම් මිස කැළණියට අයදුම් නොකරන්නැයි මල්ලීට පමණක් ගෙදර ඇවිත් කීවෙමි.

Advertisements
Posted in: Uncategorized