උන්ගේ බවුද්දකම හා අපේ බෞද්ධකම

Posted on March 15, 2009



බවුද්දයා බෞද්ධ කොඩියක් ගේ ඉදිරිපස අදින විට බෞද්ධයා තමන්ගේ ජිවිතයෙන් තම බෞද්ධකම විදහා දක්වයි.

බවුද්දයා බෝ ගසට කිරි වක් කරන විට බෞද්ධයා ගස් ගල් වැඳිමෙන් වැළකෙයි. ඒ වෙනුවට ජිවිතය සකස් කර ගැනීමට දහමෙන් ලැබිය හැකි පිළිසරණ සොයයි.

බවුද්දයා සිකුරු කොහේද අගහරු කොහේදැයි හොයන විට බෞද්ධයා කරුණාව පැතිරවිය යුත්තේ කාටද මෛති‍්‍රය පැතිරවිය යුත්තේ කාට දැයි සොයයි.

බවුද්දයා අන්‍ය ආගමිකයින්ට විරුද්ධව පෙළපාලි යනවිට බෞද්ධයා බුදුන් දෙසූ දහමින් ලෝකයටම සෙතක් සළසන්නේ කෙසේ දැයි කල්පනා කරයි.

බවුද්දයා තමන්ගේ කරුමයට හේතු සඳහා බාහිර හේතු හොයන විට බෞද්ධයා තම කරුමටය හේතු සෙවීමට තමන්ගේ අභ්‍යන්තරයට පිවිසෙයි.

බවුද්දයා පොරවන්නට සිල් රෙදි සොයන විට බෞද්ධයා වටපිටාවේ සිටින හැම කෙනෙකුටම නිවීම ගෙන එන ලෙස හැසිරෙයි.

බවුද්දයා මේ බුදුන්ගේ දේශයයි කියා වාහනේ  පිටුපස අලවා ගෙන මාර්ග නීති කඩමින් වටේ යන අයට වෙට්ටු දමමින් අනතුරේ හෙලමින් යන විට බෞද්ධයා අනෙත් අයට සංවේදී වෙමින් ඉඩ දෙමින් පාරේ සිය වාහනය සීරුවෙන් එලවයි.

බවුද්දයා ජාතිවාදය කරපින්නා ගෙන බහු රූ නාඩගම් නටන විට බෞද්ධයා මානව සංහතියේම වුවමනාවන් වෙනුවෙන් පටු බේද අතහැර කටයුතු කරයි.

බවුද්දයා නැති බැරි අය හොයා ඔවුන්ට හිගමන් දී ඔවුන් තවදුරටත් නැති බැරි කමේ රඳවන විට බෞද්ධයා ව්‍යාපාර ආරම්භ කොට රැකියා මාර්ග පාදා මිනිසුන් හිගන බවෙන් මුදවයි.

බවුද්දයා ධන්ත දාතූන් වඳින්නට පෝලිම්වල ලගින විට බෞද්ධයා බුදුන් දෙසු දහම ලෝක සාමයට සංහිඳියාවට හා පුද්ගල විමුක්තියට යොදාගත හැකි මං සොයයි.

බවුද්දයා කුල බේදය කරපින්නා ගෙන පීඩිත කුලවල ජනයා තලන විට ඔවුන්ට තමන්ගේ නිකායවල දොර වසන විට බෞද්ධයා ජන්මයෙන් කෙනෙක් වසලයෙකු නොවේය යන බුදුබණ අනුව යමින් සැමට අවස්ථාව සළයසි සමානව සළකයි.

බවුද්දයා දෙමලූන් පාගන්නට උඩගෙඩි දෙන විට බෞද්ධයා සැම මිනිසෙකුගේ ම ආත්ම ගෞරවය වෙනුවෙන් පෙනී සිටියි. හැමකෙනෙකුගේම ජීවත්වීමේ අයිතිය ඇතුළු සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියි.

බවුද්දයා බුදුන්ට ගරහහන්නන්ගේ කටේ මුඛ පිළිකා හැදේවායි සිතන පතන විට බෞද්ධයා හතුරෙකුටවත් අනතුරක් නොවේවායි පතයි.

කාව්‍යයාගේ බවුද්දකමත් අපේ බෞද්ධකමත් අතර මායිම් රේඛාව ඇඳෙන්නේ එසේ ය

කාව්‍යාගේ බවුද්දකමින් ප‍්‍රදර්ශනය කරන්නේ පෙරහැරේ යන සාදු කාර ලබන ඇතා ය. අපේ බෞද්ධකමින් ප‍්‍රදර්ශනය වන්නේ දහ බැනුම් අසමින් කොට අදින ඇතා ය.

බොහෝ අය කැමති පෙරහැරේ යන්න ය.

Posted in: Uncategorized