ක‍්‍රිකට් කණ්ඩායමේ මානසික ආතතියට – ඉන්දියාවේ සංචාරයක්

Posted on March 13, 2009



ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ලාහෝර්වලදී එල්ලවූ හදිසි ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ඇති වූ කම්පනය දුරුකරන්නට ඔවුන් වෙනුවෙන් ඉන්දියාවේ සංචාරයක් සංවිධානය කරන බව සැළවිය. ඇත්තටම එය ඉතාමත් අගය කළ යුතු එකකි. මෙවන් හදිසි ප‍්‍රහාරයක ලක්වීමෙන් පසු ඇතිවන මානසික ආතතිය යුද්ධයට මැදිව සිටින අයට වඩා හොඳින් තේරුම් ගත හැකි ය.

අපේ බලධාරීන් කොතරම් යුද විපාක සම්බන්ධයෙන් සංවේදී යයි ලෝකයටම මෙයින් පෙනෙනු ඇත.

පුංචි පරහකට ඇත්තේ මෙවැනි ප‍්‍රහාරවලට මුහුණ දෙන කිරි සප්පයින් ද ආතලා ද මුත්තලා ද තාමත් අපේ රටේ සිටිනා නිසා ය. උන් වෙනුවෙන් මේ දැක්වූ අනුකම්පාවෙන් සොච්චමක් දක්වන්නට පුලූවන් වුනා නම් අපි දැනටමත් රටක් හැටියට දිනලා ය.

මම නැවතත් කියමි. එසේ වූවා නම් අපි දැනටමත් රටක් හැටියට දිනලා ය.

මෙන්න මේ වෙලාවේ කාගේ හරි කටකට කූණු හරුපයක් ආවා නම් ඌ හැබෑ දේශපේ‍්‍රමියෙකි. මේ ලියූ එකා සමතලා කරන්නට අදහසක් ආවා නම් ඌට සැබෑ ජාත්‍යාලයක් ඇත.

ඇත්තටම මේ සටහන ලීවේ ප‍්‍රහාරයන්ට අදටත් මුහුණ දෙන කිරි සප්පයන්ට ආතාලා මුත්තලාට ඉන්දියාවේ සංචාරයක් සූදානම් කරන්නට නොවේ. ඒ නිසා කලබල නොවී ඉතිරි ටිකත් කියවන ලෙස ඒ අයියලාගෙන් අපි ඉල්ලා සිටිමු.

ඇත්තටම මෙය ලියූවේ අපිට නුවණ පහල වෙනකම් තාවකාලිකව උන්ට ඉන්දියාවට අනාථයින් හැටියට යාමටවත් යම් මගක් පාදා දෙන ලෙස ඉල්ලීමට ය.

ඒ ඉල්ලීමත් දේශද්‍රෝහී නම් හෙට අනිද්දා මරණයට කැප වන ප‍්‍රභා වෙනුවට තවත් දහස් ගණන් ප‍්‍රභාලා බිහිවීම කිසිම ජගතෙකුට වැළැක්විය නොහැකි ය. හෙට අනිද්දා සිදුවන ප‍්‍රභාගේ මරණය තරමටම එයත් ස්ථිර ය.

Posted in: Uncategorized