මකර රජ දහනේ එළකිරි යෝජනාව

Posted on March 12, 2009



මකර රජ දහනේ එළකිරි යෝජනාවක් තිබිණි. එය අපේ මැදිහත් වීම නිසා මකරාගේ හිතේ ඇතිවුන අදහසක් නිසාම පොඩි බකප් එකක් දෙන්නට සිත්විය. ඒ නැතත් එය අපූරු අදහසකි. අප නිසා පහළ වූ කල එය වඩාත් අපූරු ය. කෙටියෙන් කියතොත් එළකිරි ය.

අඩලා කිරි එරවා ගෙන කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට කරන ලද ඒ යෝජනාව සියලූ ශ‍්‍රී ලාංකිකයින්ගේ අවධානය යොමු විය යුතු එකකි.

දැනට නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි ආණ්ඩුවේ විනිමය සංචිත පුච්චා ඉවර වූ කල ගේන්නේ අහවල් ලබ්බෙන් ද? ඒ නිසාම එය කාලෝචිත ය. දේශීය කිරි ගොවියා නගා සිටුවීම කොහොමටත් දැන් කාලයක සිට කවුරුත් දත කමින් සිටි වැඩකි. මේ යෝජනාව එන්නේ ඒ පසුබිමේ ය.

ලංකාව ඇඩු කඳුලින් ජීවත්වන මිනිසුන්ගේ රට කි. යුද්ධය නිසා අනාථවන, අතපය අහිමිවන, සහෘදයින් අහිමිවන මිනිසුන් හා ගැහැණුන් ජීවත්වන රටකි.  සුදා ගින්දර උහුලාගෙන ලසෝ තැවුල් ඉවසා ගෙන ඉන්නා ජනයාගේ රටකි. ඇගිල්ලෙන් නොඇන්නත් අඩන්නට දේවල් බොහෝ තිබේ. ඒ නිසාම මෙය ප‍්‍රායෝගික ය.

පොඩි පරහකට ඇත්තේ හරකුන්ට කිරි එරෙන්නේ උන්ගේ ජාතියේ පැටවුන්ගේ හඩටය. ඒ නිසා මිනිස් ආත්මයකට වඩා හරකුන්ගේ ආත්මයකට කිට්ටු සිරුරකින් මේ ඇඩිල්ල නිකුත් විය යුතු ය. කොහොමටත් බොහෝ දෙනා හරකුන් මෙන් කර බා ගෙන හැම දෙයක්ම ඉවසන නිසාත් කට අරින්නේ තප්පුලන්නට පමණක් නිසාත් පිදුරු හා පුන්නක්කු කෑමට කැමති නිසාත් අපට පුංචි නෑ කමක් උන් හා ඇති බව ඇති බව හරකුන්ට කියන්නට අපට පුලූවන. ආණ්ඩුවේ නිල හොරණෑව මෙන් උදේ හවස මේ බව  හරකුන්ට කියන්නේ නම් හරකුන්ව ද ඊට හුරු කරගන්නට පුලූවන.

මෙසේ අමාරුවෙන් ඒ කඩුල්ලත් ජය ගත්ත ද තව පොඩි කොස්සක් ඇත.

ඒ පහුගිය දිනවල කිරිපිටි මිල ඉහල ගිය කල ආණ්ඩුවේ ඇමැත්තන් කීප පොළක් කී කතාවෙනි. ඔවුන් කීවේ මව් කිරි වෙනුවට හරක් කිරි බොන නිසා අපි හරකුන් මෙන් මොළේ නැති ජාතියක් වී ඇති බව ය. රටටම කෙළවන දේශපාලන හෙංචයියලා නැවත නැවතත් මැති සබයට තේරී පත්වීමෙන් ඔප්පු වන්නේ එහි ද ඇත්තක් ඇති බව ය.

ඒ නිසා මකරාගේ අදහසට සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

එළකිරි වෙනුවට මව් කිරි ඉල්ලා අඩමු ද?

විශාල මව් කිරි ප‍්‍රමාණයක් ඉපදවිය හැකි නම් පිටරට පටවා විදේශ විනිමය හොයා ගන්නට පුලවන. අම්මලා හා ගෑණු රට පටවන්නේ නැතිව විදේශ විනිමය ආණ්ඩුවට උපයා දෙන ක‍්‍රමයක් අපේ මිනිස්සුන්ට මෙයින් ලැබේ.

මකරෝ නුඹේ අදහස් එළකිරි කීම ඒ අදහසට කරන නිගරුවකි. එය මව් කිරි ය!

Advertisements
Posted in: Uncategorized