පුත ලග නොබලව! දුර බලව! – පකිස්තානු තොප්පියෙන් බේරුනු Beyondframe ගේ කතාව

Posted on March 11, 2009



ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසකට පකිස්ථානයට පැමිණීමට ලැබී තිබුණු ආරාධනයකට අනුව මම ද ඉස්ලාමාබාද් අගනුවරට ගියෙමි. ආරාධනය කර තිබුනේ පකිස්තානු ආරක්ෂක ආමාත්‍යංශය ය.
 
මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැක සිතිය හැකි හැම පාර්ශවයක් පිළිබඳවම තමන් සොයා බලන බව මුලින්ම ප‍්‍රකාශ කළ පකිස්වැල්ල ඇමතිතුමා ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ අදහස් දැන ගැනීමට තමන් දැනටමත් කටයුතු යොදා ඇතැයි පැවසී ය.

ඒ පිළිබඳව තමන්ට ලැබී ඇති තොරතුරු හෙළිකළ එතුමා කීවේ මේ ප‍්‍රහාරය පිටුපස දකුණු ආසියාවෙන් ක‍්‍රිකට් අතුගා දැමීමේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් තිබිය හැකි යයි අප රටේ පැරණි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුද වන ජානිපෙ නායක විමල් වීරවංශ මහත්මයාගේ අදහස පිළිබඳව ද තමන් සොයා බලමින් සිටින බව ය. විමල් කියා ඇත්තේ  බි‍්‍රතාන්‍ය  ඕස්ටේ‍්‍රලියානු දකුණු අපි‍්‍රකානු අධිරාජ්‍යවාදී අක්ෂයක් දකුණු ආසියාවෙන් ක‍්‍රිකට් අතුගා දැමීම අරමුණු කරගෙන ගොඩනැගෙමින් තිබූ බවකි.

තවත් තොරතුරකින් කියා තිබුණේ ශ‍්‍රී ලංකා රජය හැම සටනක්ම දිනමින් ඉදිරියට යන මේ මොහොතේ රජය අපහසුතාවයට පත්කරන්නට විරුද්ධ පක්ෂය මෙය සංවිධානය කරන්නට ඇති බව ය. ඒ ශාක්‍යතාවය විමසන ලෙස ඉල්ලා තිබුනේ ශ‍්‍රී ලනිපයේ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ය.

මේ ක‍්‍රියාව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේම වැඩක් විය හැකියයි ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක කලක් සේවය කළ ඊයේ පෙරේදා විශ‍්‍රාම ගිය කෙනෙකු තමන් වෙත දන්වා ඇතැයි ද ඔහු කීවේ ය. ඒ තොරතුරට අනුව ශ‍්‍රී ලංකාවේ තමන්ටම එරෙහිව ගහගැනීම් හා මරා ගැනීම් පහුගිය දිනවල දිගටම සිදුවී ඇත.

මේ යකා මොනවා කියන්නේ දැයි විමතියෙන් මම මේ ප‍්‍රකාශකයා දෙස බැලූවෙමි. මූණත් ටිකක් ලංකාවේ පොරක් වගේ ය.

ඔහු දිගට කියාගෙන ගියේය. සිරස රූපවාහිනිය එසේ තමන්ට ම ගසා ගත්තේ ය. හේතුව පිටුපස තිබුනේ ජනතාවගේ අනුකම්පාව දිනාගෙන බිස්නස් වැඩිකර ගැනීමත් රක්ෂණයෙන් යමක් හොයා  ගැනීමත් ය. ලසන්ත වික‍්‍රමතුංග තමන්ම වෙඩි තියාගෙන මලේ ය. එයට හේතුව වී තිබුනේ ජනාධිපති තුමා තමාට ඔත්තු සැපයු පුද්ගලයා ලෙස රටට හඳුන්වා දෙන්නට යන බව දැනගත් නිසා ලජ්ජාවට ය. උපාලි තෙන්නකෝන් මහතා මැරයන් පිරිසක් යොදා තමන්ට ගහ ගෙන තිබුනේ ලසන්ත වික‍්‍රමතුංගගේ මරණයෙන් එතුමා පත්වූ වීරත්වය උහුලාගන්නට බැරිව ඉන් කොටසක් හෝ ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමටත් තමන්ටම ගහ ගැනීමට කිසියම් සාධාරණ හේතුවක් තිබෙන්නට බැරි නැත. එය මනා ලෙස ඔප්පු වන්නේ ඔච්චර වෙඩි තියලාත් වැඩි තුවාලයක් නොවීම නිසා ය.

මට මේ යකා ගේ කතාවට කන්න කේන්ති ආවේය. මුන්ට මෙසේ මේ පරීක්ෂනවලින් ලෙහෙසියෙන් මග හැර යාමට ඉඩ හසර සළසන ලංකාවේ දේශද්‍රෝහීන් ගැන ඊටත් වඩා කේන්ති ය. බැරිම තැන මම උන්දෑ අමාරුවේ වැටෙතැයි සිතිය හැකි ප‍්‍රශ්නයක් ඇසුවෙමි.

ඇයි මේ ඉන්දියාව ගාව ගන්න හදන්නේ?

ඔයා ලංකාවෙද? දකුණු ආසියාවෙම තියෙන සිරිතක් ඔයා දන්නැති නිසයි ඇහැව්වෙ? මොකක් හරි වුන ගමන් අපි කරන්නේ අපේ විරුද්ධ වාදියාව මේකට ගාවන්නෙ කොහොමද කියල කල්පනා කරන එක. අපිම කරපු ඒවට වුනත් එහෙමම තමයි!

මූ ට ලෙහෙසියෙන් ලිස්සා යන්නට දෙන්න බැරි ය. මම තවත් ප‍්‍රශ්නයක් ඇසුවෙම්.

අපේ රටේ මෙහෙම එකක් වුනහම එක පරීක්ෂණ කණ්ඩායමක් නෙවෙයි අඩු ගණනේ පහක් හයක් වත් දානව. පරීක්ෂණ කටයුතු ඉක්මණින් කරන්න ජනාධිපති තුමා ම නියෝග කරනව. මෙහෙ එහෙම වෙලා නෑනෙ?

ඉතින් එහෙම කරහම වගකිව උත්තර කාරයො හම්බු වෙනව ද?

පෙනේද! ප‍්‍රශ්නෙට උත්තරයක් දෙන්නෙ නැතිව මග හැරල යන හැටි? මට මගේ සපත්තුව බැලිණි. දෙන්න ඇත්තම් මූ ට දෙකක් හොම්බ සමතලා වෙලා යන්න.

පුත ලග නොබලව, දුර බලව! එකපාරටම කවුදෝ කියනු මට හීනයකදී මෙන් දැනිණ.

මෙච්චර කලක් ජීවත්වුනෙ ඔන්න ඔය හඩට පින්සිද්ධ වෙන්න. නිකන් වීරයෙක් වෙන්න ඔනෑ නෑ. රස්සාව කරගෙන ඔන්න ඔහෙ ඉන්නව. මම නිශ්ශබ්ද වීමි.

Posted in: Uncategorized