අපට දළදා සමිඳු පිහිටයි

Posted on March 10, 2009



දළදා සමිඳුන් මහජන ප‍්‍රදර්ශනයට විවෘත කළ දිනයේම නුවර වීදී යට කරගෙන වැසි වැටුන බවට සඳහන් බ්ලොග් සටහන් කීපයක් දුටුවෙමි. මේ වැසි කතාව මා කුඩා කල ද අසා ඇත්තෙමි.

ඒ සමගම මගේ සිහියට නැගුණේ දළදා සමිඳුන් සතුව පවතින මේ අසීමිත බලය ලංකාවේ ජල පාලනය සඳහා අපූරුවට භාවිතා කළ හැකි බව ය.

අදටද වැස්සක් වැටෙන තෙක් අහස දෙස බලා සිටින ගොවියෝ රජරට සිටිති. වැසි නැතිව පිටි මකුණු රෝගය ව්‍යාප්ත වෙමින් යන්නේ ලංකාවේ කෘෂී කර්මාන්තයට කණ කොකා හඩවමිනි. බැරිවෙලාවත් මේ රෝගය මෙල්ල කරගන්නට නොහැකි වුවහොත් අපි අනාථය. රටින් ආහාර ගෙන්නන්ට විදේශ විනිමය සංචිත වත් අප සතුව නැති බැවිනි.

මේ නිසාම දළදා සමිඳුන් ලංකාව පුරා පෙරහැරෙන් ගෙන යෑමේ වැඩ පිළිවෙළක් සංවිධානය කිරීම වගකිව යුත්තන්ගේ යුතුකමකි. දැන් සිදුව තිබෙන්නේ නුවර කීප දෙනෙකු දළදා සමිඳුන් බදු අර ගෙන තිබීම ය. එය දැයට බාර දීමේ කටයුත්ත දැයට කිරුළ දුන් අපේ නායක තුමාට  කළ හැකි ය. උඩරට පරපුරට අයිති නැති නිසා වෙන අය මෙන් ඒ පැත්තට අදින්නේ නැතිව මේ ජනහිත කාමී කටයුත්තට උර දෙනු අනැයි අපි බලාපොරොත්තු වෙමු. ඒ බලාපොරොත්තුව ඇතිව අපි එතුමන්ට ඒ සඳහා බැති සිතින් ආරාධනා ද කරමු.

මුල පිරීමක් හැටියට දළදා සමිඳුන් හම්බන්තොටට ගෙනා හැකිය. හම්බන්තොට ජනතාවට බොහෝ දේ දැන් ඇතත් හම්බන්තොට ගොවියෝ ද වතුර නිසා අදද දුක් විඳිති. ඒ පැත්තට නෑකම් කියන ගමේ බයියෙක් හැටියට අපේ මැතිඳුන් අඩු වශයෙන් අපේ පැත්ත පළාතවත් බලා ගනු ඇතැයි මට විශ්වාස ය.

ජල පාලනය මෙසේ දළදා සමිඳුන්ට බාර දිය හැකි නම් වතුර විකුණන ප‍්‍රශ්න, ජල ප‍්‍රතිපත්ති හදන කෙටුම්පත්, මේ එකක්වත් පැන නගින්නේ වත් අවශ්‍ය වන්නේ වත් නැත.

බුදුන් වහන්සේ ලෝකයටම මෙත් පැතුරූ නිසා අවශ්‍ය නම් ලෝක ජල හිගයට ද අපේ පුංචි රටෙන් ඉතා විශ්වාස දායක පිළියමක් ලබා දිය හැකි ය.

මේ ගැන ලංකාවාසී හැමදෙනාගේ ඉක්මන් අවධානය යොමුවේවායි මේ දවස්වල දළදා සමිඳුන් වැඳපුදා ගන්නා ගමන් අපි පතමු.

Posted in: Uncategorized