දැන් අහස ආයිත් අපේ ය!

Posted on March 8, 2009



ඉස්සරම අහස අපේ ය. පස්සෙ කාලෙක දී එය අපට තාවකාලිකව අහිමිව ගියේ ය. ඒ පහුගියදා බිම වැට්ටූ කුරුම්බැට්ටි නිසා නොවේ. ලීසිං ගෙවාගන්නට බැරිව අහස්යානා අරන් යනකම් අපිට බලන් ඉන්නට වූ නිසා ය.

දැන් නැවතත් අහස අපේ ය.

ඒ මිහින් ගුවන්සේවය නැවත පටන් ගෙන ඇති නිසා ය. ඇත්තටම ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නයක් විසඳන්න මේ නිසා අපේ ආණ්ඩුවට හැකිවිය. හදිසියේ නෑදෑයින් එහෙම බලන්නට රට යන අපට ලාබෙට යන්නට විදිහක් සැලසීම නිසා ය.

මෙහෙම ලියන කොට බොහෝ දෙනා හිතන්නේ අප කොචොක් කරනවා කියලා ය. ඇත්තටම අප මේ ලියන්නේ අති මහත් ආඩම්බරයෙනි.

ලෝකයේ කිසිම රටක එම රටේ ජනාධිපතිගේ නමින් ගුවන් සේවාවක් නැත. ඒ නිසා මේ රටට ලෑන්ඞ් ලයික් නෝ අදර් (Land like no other) කියා බය නැතුව කියන්නට පුලූවන. දැන් සංචාරක මණ්ඩලයට අතිමහත් උනන්දුවෙන් මේ තේමාව ඉදිරියට ගෙනියන්නට ගැම්මක් ඇතිව තිබෙන්නේත් මේ නිසා ය.

ඇත්තටම අපි ආණ්ඩුව වැනිය යුත්තේ විදේශ විනිමය සංචිත ඉතාම අඩු මට්ටමක වැටී තිබියදී යුද්ධයකුත් කරන ගමන් මෙවැනි කටයුත්තකට ද අතගැහීම සම්බන්ධයෙනි. බ්ලැක් මාර්කට් එකෙන් අධික පොලියට ණය ගන්නා ගමන් ලෝක බැංකුවෙන් ණය හිගන ගමන් අපේ අහස බව ආඩම්බරයෙන් කියන්නට අපට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙනි.

ජාතික අභිමානය ඔය මොහොකටත් වඩා වටින බව ආණ්ඩුව අපට පෙන්වා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

විනිමය සංචිත තවත් බැස්සොත් අහස අපේ ලෙස පවත්වා ගැනීමට කරන්නට තව වැඩක් ආණ්ඩුවට තිබේ. ශ‍්‍රීලංකන් ගුවන් සේවය මිහින් ගුවන් සේවය යටතට ගැනීම ය. මහින්ද යටතට රට ගැනීම සංකේතවත් කරමින් ඒ ගනුදෙනුව කිරීමේ අවකාශය අද අපට තිබේ.

මම මේ ආණ්ඩුවට හිතවත් කමට කියන්නේ වැඩිය පරක්කු නොවී මැතිවරණ ටික තියාගත්තා වාගේ  ඕකත් මේ කලබල අස්සේම කරන්නට කියා ය.

එන්ජී ඕවලින් ගෙවන ගාන අඩුකර ඇති නිසා ඊයේ මම ජනාධිපති උපදේශක තනතුරකට අයදුම්පතක් ද දැම්මෙමි. මා මේ දුන් උපදේශය මගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා පුංචි ආදර්ශයක් පමණ ය. ජොබ් එක ලැබේ නම් තව ගොඩක් දේවල් සඳහා මා ලග උපදෙස් තිබෙන බව පමණක් දැනට ලියමි.

දේවෝ වස්සතු කාලෙන
සබ්බ සම්පත්ති හේතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ

මා මෑතකදී කරන ලද පුරා විද්‍යා සමීක්ෂණයකින් සොයා ගත් පරිදි ඔය ගාථාවේ රාජා කියා ඇත්තේ අපේ මැතිඳුන් ට ය. ජොබ් එක ලැබෙයි නේද?

Advertisements
Posted in: Uncategorized