හොඳ නාඩගම් – එලිවන ජාමයේ ය

Posted on March 6, 2009



පොලිසිය දෙකේ කොළයට දමා තිබේ. ඒ තාප්පවල අලවා ඇති මැතිවරණ පොස්ටර් ඉරා දැමීමේ රාජකාරිය පැවරීමෙනි.

මා සිතා සිටියේ පොලිසිය සිටින්නේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට කියා ය. දැන් බැලූවහම පොලිසිය සිටින්නේ නීති කැඞීමෙන් පසු සිදුවන පරිසර විනාශය අවම කිරීමට ය.

මේ ක‍්‍රියාවලිය සිහිගන්වන්නේ බල්ලා දම්වැලකින් බැඳ ඇවිදීමට ගෙනියන හාම්පුතාගේ රාජකාරිය යි. මේ යන ගමනේ බල්ලා බොහෝවිට කැත කරයි. ඒ අපද්‍රව්‍ය ඉවත් කිරීම බටහිර රටක නම් හාම්පුතාට පැවරෙයි. බල්ලාට කැත නොකරන ලෙස අනකරන්න හාම්පුතුට බැරි නිසා මේ ඉවත් කිරීම ඔහු තම වගකීම කොට සළකයි. දැන් මේ ක‍්‍රියාවලිය අපේ ක‍්‍රියාවලිය හා සසඳන්න.

පෝස්ටර් ගැහීම නවත්වන්නට පොලිසියට බැරි ය. ඒ ඇයිදැයි ලංකාවේ වැඩ වාසය කරන අයට නැවත කියා දෙන්නට වුවමනා නැත. ඒ නිසා පොලිසියට කරන්නට තිබෙන්නේ ඊළගට හොඳ දේය. ඒ බල්ලන්ගේ ගූ අරන් දැමීම ය.

පෝස්ටර් ගහන්නේත් උන් ය. එය ගලවන පොලිසියත් උන්ගේ ය. ඒ නිසා අප තැවෙන්නේ කුමටදැයි අප ගැන අනුකම්පාවෙන් ප‍්‍රශ්න කිරීමට ඉඩ ඇති අපේ පාඨකයින් වෙනුවෙන් ඊලගට කීමට ඇත්තේ මෙයයි.

මේ වැඩය සඳහා ඔබත් මමත් බදු හැටියට ගෙවන මුදලින් රු ලක්ෂ 54 ක් වෙන් කර ඇත. මෙය නාස්ති කරන මුදල්වල හැටියට මහ බක්කක් දැයි කෙනෙක් අසන්නට පුලුවන වතුර බිල ෆෝන් බිල පමණක් නොව තව බොහෝ දෙයෙහි මිලද මේ සමග තව නොබෝ දිනකින් සම්බන්ධ වනු ඇත.

පොලිසියට වැඩ බැරි වූ විට සිදුවන්නේ ගූ අරන් දැමීමට ය.

මේ පොලිසිය අරන් දමන පොස්ටර් අතර පරිසරයට සම්බන්ධ කෙනෙකුගේ පෝස්ටර් ද තිබේ. ඒ උදය ගම්මන්පිලගේ ය.

ඒ ගැන කියන්නට තිබෙන්නේ පරිසරයට ගම්මන්පිලලාගේ නොව පොලිසීයේ සරණයි කියා ය. මේ අපට බලන්නට සලස්වා ඇති විකාර රුපි නාඩගමේ විවිධ ජවනිකා ය.

ඇත්තටම තවම හොඳ ජවනිකා කරලියට ආවේ නැත. ඒවා කරලියට පැමිණිමට නියමිත එලිවන පැයේ ය. හරි බරි ගැසී වාඩිවන්න. ඒ ජවනිකා හැකි පමණින් ඔබ වෙත ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙමු.

Posted in: Uncategorized