වඳින්න යන මේ නඬේට සීල් ඇරැක්වල පිහිටයි – වැඳල බහින මේ නඬේට ලාබ කසියාවල පිහිටයි

Posted on March 3, 2009



සිරිපාදේ නගින බැතිමතුන්ගේ ගමන් මලු සෝදිසි කිරීම දැන් ආරම්භ කොට ඇත. ඒ ත‍්‍රස්තවාදීන් අවි ආයුධ රැගෙන සිරිපාද අඩවියට ඇතුළුවීමේ ඉඩකඩක් ඇති නිසා නොවේ. ඊට වඩා භයානක අවියක් රැගෙන බැතිමතුන් අඩවියට ඇතුළුවෙමින් සිටින නිසා ය.

ඒ මත් පැන් ය.

මතට තිත තබා ඇති සමයක මෙයට ඉඩ දිය නොහැකි බැවින් මෙසේ පරීක්ෂාවට ලක් කරණ බව කියවේ. මේ බව කීවේ නෙත් එෆ් එම් ගුවන්විදුලි යයි.

එය වැඩිදුරටත් කියා සිටියේ මත්පැන් අත්අඩංගුවට ගනු ලැබුවද ඒවා ලබා ගත හැකි හොර තිත්පොළවල් ඒ මුරකපොල්ලට පසුව තිබෙන බවකි.

ඒවායින් සප්පායම් වීමට අකමැති අයට අවසර ලත් මත්පැන් හලක් ද ඇති බව කීවේ ද එම ගුවන් විදුලිය මැයි.

කොහින් බීගන්නේ ද දන්නැති මුත් බීගත් බැතිමතුන්ගෙන් සෙසු බැතිමතුන්ට වන පීඩාවල් නම් හමාරව නැතැයි කීවේ නෙත් එෆ් එම් ගුවන් විදුලියට සම්බන්ධ වූ සිරිපාදේ කරුණාකරන තවත් බැතිමතෙකු විසිනි.

මුර කපොලූ දමා ඇති නිසා මතට තිත තබා ඇතැයි සංතෝස වීමට පාලකයින්ට පුලූවන. ආණ්ඩුව මතට තිත තබා ඇතැයි සංතෝස වන්නට හෙළ උරුමයට පුලූවන. ඊට පසු තිත්පොළවල් ගණනාවකම පහසුකම් සපයා ඇති නිසා කැමති තැනකින් තමන්ගේ ආසාවන් ඉටුකරගන්නට බැතිමතුන්ට පුලූවන.

මුරකපොල්ල නිසාම ඉතා සරු ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමට හොර මත්පැන් සල් හිමියන්ට පුලූවන.

මත් පැන් ගෙන ඒමට අමතක වන බැතිමතුන්ට එසැනින් මත් පැන් ලබා ගැනීමට ද මේ නිසා ඉඩ ලැබී තිබේ.

නගින විට පමණක් නොව බහින විටද ගෙනා බඩු ඉවරයයි දුකක් ඇති කරගන්නේ නැතිවම අවශ්‍යතා ඉටු කරගැනීමට ද මේ නිසා හැකි ය.

ඒවායින් බීමට අකමැති සල්ලි බාගය ඇති අයට අවසරලත් තැනකින්ම ඒ වැඩය කරගැනීමට පුලූවන. ඒ අවසරලත් මත්පැන් සල් හිමියාට ද එයින් යම් පිනක් කර ගන්නට ඉඩක් ලැබේ. ඒ තමන් උපයන ආදායමට අමතර වශයෙනි. අමිශ‍්‍ර පිරිසිදු මත්පැන් පාරිභෝගිකයින්ට ලබා දීමෙනි.

මේ රජයකට ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ගය ය. මේ නිසා සියලූ දෙනා සතුටින් තබා ගත හැකි අතර කරදරයට පත් වන්නේ නොබොන බැතිමතුන් පමණය. හැබැයි මුරකපොල්ල ඇති නිසා ඒ අයට ද වුව පුංචි සතුටක් ඇති කර ගත හැකි ය. ඇත්තටම මේ මුරකපොල්ල තිබීම නිසා තමන්ගේ ගමන් මලූ නැවත අඩුක් කරගැනීමට හා දිගටම කන්ද නගින්නේ නැතිව තරමක ඉස්පාසුවක් ලබා ගැනීමට හැකි නිසා මෙයින් බැතිමතුන්ටද අමතර වාසියක් ලැබී ඇත.

බලා ගෙන යනවිට ගොඩ නගන අලූත් ශ‍්‍රීලංකාවේ කාට කාටත් ඉඩ තිබේ. කාගෙ කාගේත් වුවමනාවන් ඉටුවේ. අපි දැන් ධර්ම රාජ්‍යය ආසන්නටම පැමිණ සිටිමු. ඒ සඳහා මේ ආකාරයේ තව තවත් මුර කපොලූ ඇති කළ යුතු ය.

හාල් පොලු මිරිස් පොලු තිබුනේ ඒ කාලයේ ය. දැන් ඇත්තේ මත් පොලුය.

(ප.ලි. මගේ මෑණියන් නම් කියන්නේ සමන් දෙවි අඩවියේ කට වරද්දාගත් අයට දෙවියන් දඩුවම් දෙන බවකි. මට නම් හිතෙන්නේ දෙවියන්ගේ වැඬේ පොලිසිය බාරගත් නිසා දෙවියන් දැන් පල්ලම් බැස ඇති බවකි – නිගමනය පොලිසිය ඉන්නා තැනක දෙවියන් වත් ඉන්නේ නැත)

Advertisements
Posted in: Uncategorized